Thursday, August 6, 2009

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලංකාවේ රජයට දැඩි කොන්දේසි

(2009 අගෝස්තු 06) රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබාගෙන තිබෙන ඩොලර් බිලියන 2.6 ණය රජයකට මූල්‍ය පහසුකම් ලබා ගත හැකි පහසුම ආකාරයක් බව රාජ්‍ය ආදායම් අමාත්‍ය, මුදල් හා ක‍්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ජුලි 28දා දිනමිණ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. "ඉතා පහසුම පොලී අනුපාතයකටයි මෙම සහන ණය මුදල ලබා ගෙන ඇත්තේ. ඩොලර් යුරෝ යෙන් යන මුදල් ඒකක එකතු වු පැසක් තුළ ඒ අවස්ථාවේදී ඉල්ලුමට පවතින පොලී අනුපාතයට සමානුපාතික පොලි අනුපාතයකට අනුවයි පොලිය තීරණය වන්නේ. 1.3 % ක් තමයි පළමු වාරිකයට පොලිය තීරණය වන්නේ.


"දෙවන හා තෙවැනි වාරිකත් ඊට බොහෝ සෙයින් සමාන වෙනවා. ලෝකයේ පවතින පොලී අනුපාතයන් එක්ක ගත් විට මෙය ඉතා ලාබදායක පොලී අනුපාතයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මාස 20 ක් තුළ වාරික 8 කිනුයි මෙම ණය මුදල අපට ලැබෙන්නේ.


"මාස 20 අවසන් වෙන්නේ 2011 වසරේ මාර්තු මාසයේ. ඉන්පසුවයි මේ ණය ගෙවන්න පටන් ගන්න වෙන්නේ. මාස 20 අවසානයේ ණය සියල්ල ලබා ගත් පසුව ණය ආපසු ගෙවීම සඳහා වසරක සහන කාලයක් තිබෙනවා. එතැන් සිට (2012 සිට) වසර 4 ක කාලයක් තුළ මේ ණය මුදල ගෙවීම සඳහා කාලයක් ලැබී තිබෙනවා."


ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය කෙළින් ම යන්නේ මහ බැංකුවේ විදේශ සංචිතවලටයි. මෙම මුදල් සංවර්ධන කටයුතු හෝ ප‍්‍රාග්ධන වියදම් ලෙස යොදා ගත නොහැකි බවත්, යොදා ගත හැක්කේ රටේ ගෙවුම් ශේෂය තුලනය කර ගැනීමට පමණක් බවත් ඇමතිවරයා පවසයි. "විදේශ වත්කම් ප‍්‍රමාණය ඉහළ යාම රටට ඉතා වාසිදායක වෙනවා. අපේ රුපියල ශක්තිමත් වෙනවා. ද්වි පාර්ශ්විකව හා බහු පාර්ශ්විකව අපේ රටට ලැබීමට නියමිත ලැබීම් ඉතා කඩිනමින් ලැබීමටත් මෙය හේතුවක් වනවා. එය විදේශීය ආයෝජකයින්ගේ පැමිණීමටත් බලපානවා. රටේ ආර්ථිකය වර්ධනය වෙනවා. වෙළඳාම වැඩි වෙනවා. කර්මාන්ත ඇති වෙනවා," යි ඔහු පවසයි.


ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය අනුමත වූ සැණින් ම ඩොලර් මිලියන 322.1ක් මුදාහරිනු ලැබිණි. ඉතිරි කොටස ලැබීමට නියමිතව ඇත්තේ වාරික හතකටයි.


කෙසේ වෙතත්, මෙම ණය ලබාගැනීම සඳහා රජය එකඟ වී ඇති කොන්දේසි දැඩි විවේචනයට ලක් වී තිබේ. අදාළ ණය මුදල ලබාගැනීම සඳහා වැඩබලන මුදල් හා ක්‍රමසම්පාදන ඇමැතිවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතා සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ අත්සන් සහිතව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයාට යවන ලද කැමැත්ත පළකිරීමේ ලිපිය අනුව, 2009 වසරේදී අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7%ක මට්ටමේ තබාගැනීම හා 2011 වන විට එය 5% දක්වා අඩු කිරීම මහේක්ෂ ආර්ථික ස්ථායීතාව රැකගැනීම සඳහා රජය විසින් ඉටු කළ යුතු මූලික කොන්දේසියක් වේ. අයවැය පරතරය අඩු කිරීම සඳහා රජය ආදායම් වර්ධනය කර ගත යුතු අතර වියදම් කපා හැරිය යුතුය.


මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසන ආකාරයට ආදායමේ අපේක්ෂිත වර්ධනය වීම්, වියදම් කප්පාදු සහ වියදම් විධිමත් කිරීම හරහා මෙම වසරේ අයවැය පරතරය 7% මට්ටමේ තබාගැනීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම දුෂ්කර නැත. වියදම් කැපීමෙහිදී අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා වියදම් හෝ සමාජයේ වැඩියෙන්ම අවදානමට ලක් වී සිටින කොටස් සඳහා වූ සුබසාධන වියදම් කපා නොහරින බව ඔහු සහතික කරයි. එය සැබෑවක් නම්, එකී වියදම් ද පවත්වා ගනිමින් අයවැය පරතරය අඩු කිරීම සඳහා රජය විශාල ආදායම් වර්ධනයක් ඇති කර ගත යුතුය. 2011 වන විට බදු ආදායම අඩු වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 2% ක මට්ටමකින් වැඩි කිරීමට ද රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟත්වය පළකර ඇත්තේ ඒ අනුවයි. මහ බැංකු අධිපතිවරයා අනාගතය ගැන පළ කරන අපේක්ෂා කෙසේ වෙතත්, මේ වසරේ මුල් මාස කීපය තුළ නම් ඇත්ත වශයෙන්ම සිදු වූයේ රජයේ බදු ආදායම පසුගිය වසරට වඩා පහත වැටීමයි. රජය දේශපාලනඥයන්ට, රජයේ ඉහළ නිලධාරීන්ට හා හෙංචයියන්ට දෙන බදු සහන ද මෙම තත්වය ඇති කිරීමට හේතු වි තිබේ. රජයේ ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති අනුව, මෙම තත්වයෙහි වෙනසක් අපේක්ෂා කළ නොහැකිය. එසේ නම්, රජයේ ආදායම් වැඩි කරගැනීමට තිබෙන එකම මාර්ගය වන්නේ තව තවත් බදු පැනවීමයි.


මෙම කරුණුවලට අදාළව මහ බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ නන්දලාල් වීරසිංහ පවසන්නේ බදු ව්‍යූහයන් යළි සකස් කිරීම සඳහා පත් කර ඇති කොමිෂම විසින් ආදායම් වර්ධනය කරන ක්‍රම යෝජනා කරනු ඇති බවයි. නිසැකව ම, ආදායම වැඩි කර ගැනීමට රජය අදහස් කරන්නේ 3% දක්වා වැඩි කරන ලද ජාතිය ගොඩනැඟීමේ බද්ද වැනි බදු අය කිරීම වැඩි කිරීම හා පොළී පිරිවැය අඩු කිරීම වැනි ක්‍රියාමාර්ගවලිනි. රටේ දැනට සිටින ආදායම් බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව 300,000කි. එම සංඛ්‍යාව ඉහළ නැංවීමටද රජය අදහස් කරයි. රජයේ ඉහළ නිලධාරීන් රැසකට මේ අනුව බදු ගෙවන්නන් බවට පත් වීමට සිදු වනු ඇත. මෙසේ පනවන බදු අවසානයේදී ගෙවී යන්නේ සුළු නිෂ්පාදකයන්ගේ හා පාරිභෝගිකයන්ගේ සාක්කුවෙනි. එහි බර වැඩියෙන්ම දැනෙන්නේ සමාජයේ දරිද්‍රම කොටස්වලටයි.


රජයේ වියදම් කප්පාදු කිරීම සඳහා ගනු ලබන පියවර අනුව, විදුලිබල මණ්‌ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව, දුම්රිය දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ව්‍යවසායවලට භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන ලබා දීම අත්හිටුවීමට රජය දැනටමත් කටයුතු කරමින් සිටියි. ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව සහ විදුලිබල මණ්‌ඩලය 2011 වෙද්දී ලාභ පාඩු නොමැති මට්‌ටම දක්‌වා ගෙන එන බවට කොන්දේසියක්‌ ද මෙම ණය මුදල වෙනුවෙන් පනවා තිබේ.


ආයෝජන මණ්‌ඩල පනත යටතේ අපනයන ඉලක්ක කර ගත් ආයෝජකයන්ට මෙතෙක්‌ ලබාදුන් අවුරුදු 15 ක බදු සහන කාලය අවුරුදු 3 දක්‌වා අඩු කරන බවට වූ කොන්දේසියකට ද රජය එකඟ වී තිබේ. මේ පිළිබඳව මහ බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ නන්දලාල් වීරසිංහ පවසන්නේ යුද්ධයට පෙර සමයේ ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම සඳහා ලබා දුන් සහන දැන් අවහ්‍ය නැති බවයි. ‍ලෝක ආර්ථික අර්බුදයත් සමග ඇති වී තිබෙන තත්වය තුළ ආයෝජකයන් ආකර්ශනය කරගැනීම වඩාත් දුෂ්කර වී තිබියදී මහ බැංකු නිලධාරීන්ගේ මෙම හිතලු කෙතරම් යථාර්ථවාදී වනු ඇද්දැයි සැක සහිතය.


මේ අතර රුපියලේ අගය කෘත්‍රිමව වෙනස් කිරීම සඳහා මැදිහත් නොවී, පාවෙන විනිමය අනුපාතිකයක්‌ ලෙස අඛණ්‌ඩව පවත්වාගෙන යාමට ද රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට එකඟත්වය පළ කර තිබේ. මෙකී ණය කොන්දේසි මගින් හිතුමතේ සල්ලි අච්චු ගැසීම ද, සීමාන්තිකව බැහැරින් ණය ගැනීම ද සීමා කර, ‍දේශීයව කරන ණය ගැනීම් අඩු කර පෞද්ගලික අංශයට වැඩිපුර ණය දීමට ද යොමු කර තිබේ.


ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාවේ රාජ්‍ය මුල්‍ය කළමනාකරණය සිය අණසක යටතේ තබාගැනීම සඳහා එකඟ වීම පිණිස මහ බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්‌ඩායම සමඟ ඉදිරි මාසවලදී එකට ක්‍රියා කිරීමට සූදානම් යනුවෙන් ද වගන්තියක්‌ රජය විසින් ඉදිරිපත් කරන ලද කැමැත්ත පළකිරීමේ ලිපියේ සඳහන්ව තිබේ. ඒ අනුව, මහ බැංකුවේ කටයුතුවලට මැදිහත් වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්‌ඩලයට ඉඩ සලස්‌වා ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුචල 2007දී වසා දමන ලද කොළඹ කාර්යාලය යළි විවෘත කිරීමට ද මේ වන විට සලකා බලමින් සිටියි.


කැමැත්ත පළකරන මෙම ලිපියට අමතරව ණය ලබාගැනීම සඳහා තාක්‍ෂණික අවබෝධතා ගිවිසුමක්‌ ද රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර අත්සන් කර ඇත.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම එතරම් අරුමයක් නොවන බවත්, 1950 වසරේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබාගත් ශී‍්‍ර ලංකාව 1976, 1977, 1980, 1981, 1982, 1983, 1987, 1989, 2001, 2003, 2005 ආදී වසරවල මෙසේ ණය පහසුකම් ලබාගෙන තිබෙන බවත් පෙන්වා දෙන ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ජුලි 31 දින කැබිනට් පුවත්පත් සාකච්ඡාවවේදී ප‍්‍රකාශ කෙළේ කිසිදු සහනාධාරයක් කපා හැරීමට රජය එකඟ වී නැති බවයි. රජය මගින් ලබාදෙන පොහොර හා සමෘද්ධි සහනාධාර කපා හැරීමක්‌ කිසිසේත්ම සිදුනොවන බවද හේ කීය.


මෙම ප්‍රකාශය අර්ධ සත්‍යයකි. රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වූ කොන්දේසි අතර මෙවැනි සහනාධාර කප්පාදු කිරීම් පිළිබඳ ඇත්තෙන්ම ඍජුව සඳහන් වන්නේ නැත. එහෙත්, රජය විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ලබා දෙන ලද අභිලාෂය ප්‍රකාශ කිරීමේ ලිපියේ සිව්වන වගන්තිය අනුව, "වැඩසටහන යටතේ 2009 වසරට නියමිත ආදායම් පහත වැටුණොත් හෝ වියදම් ඉහළ ගියොත් හෝ වෙනත් ජංගම වියදම් සීමා කිරීමට අපි වහා කටයුතු කරන්නෙමු. මෙයට භාණ්ඩ හා සේවාත්, පැවරුමුත් වේ. නැතිනම්, සංචිත ඉලක්කය සපුරාගැනිම පිණිස ආදායම් වැඩි කරනු ඇත."


මෙහි පැවරුම් ලෙස හැඳින්වෙන වියදම් කාණ්ඩය යටතේ මේ වසරේ රු. බිලියන 194ක් වෙන් කර ඇති අතර, එයින් රු. බිලියන 150ක් වෙන් කර තිබෙන්නේ සමෘද්ධි, පොහොර සහනාධාර සහ විශ්‍රාම වැටුප් වෙනුවෙනි. රජය ‍එකී සහනාධාර කප්පාදු නොකර සිටීමටත් ඉඩ තිබේ. එහෙත් අනෙක් පැත්තෙන් රජය කරන දෙය වන්නේ බදු ශීඝ්‍රයෙන් ඉහළ නැංවීමයි. එවැනි තත්වයක් තුළ මෙකී සහනාධාරවල කිසිදු වටිනාකමක් නැත. මක් නිසාද යත්, තමන් ලබන සහනාධාරවල වටිනාකම මෙන් කීපගුණයක් වූ අලුත් බදුවලට උර දීමට ජනතාවට සිදු වන හෙයිනි.


ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි අනුව කටයුතු ආරම්භ කරමින් රජය දැන් විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි පාඩු ලබන ආයතනවලට ලැබීමට නියමිතව තිබෙන ණය අය කරගැනීම සදහා පනතක් සකස් කරමින් සිටියි. මෙහි ඇති හාස්‍යය වන්නේ මෙම ආයතනවලට වැඩියෙන්ම ණය වී එම ණය ගෙවා ගත නොහැකිව සිටින්නේ ද රාජ්‍ය ආයතන වීමයි. විදුලි බල මණ්ඩලයමත් ඛනිජ තෙල් සංස්ථාවට ණය වි සිටින අතර මෙහි ඇත්තේ ණය විෂම ණය චක්‍රයකි. රජය පසුගියදා විදුලි බිල් 35%කින් ඉහළ නැංවූයේද විදුලි බල මණ්ඩලය බේරා ගැනීමටයි. රජය රජයට තිබෙන ණය අය කරගැනීම සඳහා දැන් රජය විසින්ම පනතක් ගෙන එන්නට සැරසෙයි. ‍රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී තිබෙන කොන්දේසි සැපිරීමේ දුෂ්කරකම වටහා ගැනීම සඳහා මෙය නිදසුනකි. මෙහි ඊළඟ පියවර නම් මෙම ආයතනවල පාඩු පාරිභෝගිකයන්ගේ කර පිටින් යවමින් තෙල් හා විදුලි බිල් ඉහළ නැංවීමයි.


ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට හේතු වූ තත්වය පිළිබඳ ලංකාවට ණය අනුමත කිරීම සඳහා කටයුතු කල නියෝජිත පිරිසේ ප්‍රධානියා වන බ්‍රයන් එයිට්කන් IMF Survey සමග සම්මුඛ සාකච්ඡාවකදී පවසන්නේ මෙසේයි. "ලංකාව වසර ගණනාවක් තිස්සේ ඉහළ අයවැය පරතරයක් පවත්වාගෙන යන රටක්. මෙම පරතරය පියවීම සඳහා ඔවුන් ජාත්‍යන්තර මුල්‍ය වෙළදපොළෙන් කෙටි කාලීන ණය ලබා ගත්තා. ලෝක මුල්‍ය අරමුදලත් සමග ජාත්‍යන්තර වෙළදපොළෙන් මුදල් ගලා ඒම ක්ෂණිකව නැවතුණා. මහ බැංකුව විනිමය අනුපාතිකය බිඳවැටීම පාලනය කිරීමට මැදිහත් වුණා. මෙමගින් ලංකාවේ ජාත්‍යන්තර විනිමය සංචිතවලට පීඩනයක් ඇති වුණා. ඒ හේතුවෙන් විදේශ විනිමය සංචිත තවමත් තිබෙන්නේ පහත් මට්ටමකයි."


ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ගිය අවුරුද්ද වන විට රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 81%ක මට්ටමට ඉහළ ගොස් තිබිණි. 2009 වසරේ මුල් මාස හතර තුළ රටට විදේශ ණය පැමිණියේ නැත.


රජය දිළින්දන් සඳහා සමාජ ආරක්ෂණ ක්‍රම සහ සමාජ සේවා පවත්වාගෙන යාම වැදගත් බව ද එයිට්කන් පෙන්වා දෙයි. අනතුරුදායක මට්ටමේ සිටින ප්‍රජාවන් ආරක්ෂා කරගැනීම තහවුරු කිරීම පිණිස 2008දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.8%ක් වූ සමාජ සේවා අංශයේ වියදම් 2009දී 7%ක් දක්වා ඉහළ නංවා ඇති බව හේ පවසයි. එහෙත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි පැණවීමෙන් අනතුරුව ඉදිරිපත් කරනු ලබන 2010 අයවැය හා සම්බන්ධව මෙහි තත්වය පිළිබඳව ඔහු කිසිත් සදහන් කරන්නේ නැත. එසේම මේවා හුදු කට වචන මිස කොන්දේසි ද නොවේ.


ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි සැපිරීම ලංකාවට ඉතා දුෂ්කර බව ද එබැවින් මෙම ණය මුදලේ ඉදිරි වාරික ලබාගැනීමට ලංකාව අසමත් වනු ඇති බවද ඇතැමෙක් තර්ක කරති. මේ පළිබඳව එයිට්කන් පවසන්නේ මෙසේයි. "සෑම කාර්තුවකට ම වරක් මෙම වැඩසටහන ඇගයීමට ලක් කරනු ලැබේ. 2009 සැප්තැම්බරයේ සිට වාරික ලබා දීම සිදු වනු ඇත්තේ මෙම ඇගයීම සම්පූර්ණ කිරීමෙන් අනතුරුවයි."


මේ අතර, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ලැබීමත් සමග ලංකාවට ලැබී තිබෙන ආර්ථික ස්ථායීතාව පිළිබඳ සහතිකය පාවිච්චි කරමින් තවත් ණය හා සංවර්ධන ආධාර ලබාගැනීමට රජය සැලසුම් කර තිබේ. අවතැන් කඳවුරුවල සිර කරගෙන සිටින ජනයා පුනරුත්ථාපනය කිරීම හා ඔවුන් ජීවත් වූ ප්‍රදේශවල විනාශ වූ යටිතලය සංවර්ධනය කිරීම ආධාර ලබාගැනීමේදී අලෙවි කරනු ලබන ප්‍රධාන සාධකයකි. ලංකාවට ලැබෙන ඉන්දියානු ආධාර බොහොමයක් යොමු වන්නේ මෙම කාර්යයන් වෙනුවෙනි. ජාත්‍යන්තර මුලය අරමුදලෙන් ණය ලබාගැනීම සදහා ද අවතැන් වූවන් විකුණා ඇත. රජය විසින් ඉදිරිපත් කරන ලද ණය සඳහා අභිලාෂය පළ කිරීමේ ලියුමෙහි ද අවතැන් වූවන්ගෙන් 80%ක් 2009 වසර අවසන් වන විට යළි පදිංචි කරන බව තහවුරු කර තිබේ. ඒ අනුව, 225,000ක් පමණ ජනයා මේ වසර අවසන් වීමට පෙර යළි පදිංචි කළ යුතුව තිබේ. එහෙත්, තතු දත් ආරංචි මාර්ග පවසන්නේ එවැනි සූදානමක් එම ප්‍රදේශවල නැති බවයි.


කෙසේ වෙතත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි අනුව ලංකාවට සංවර්ධන කටයුතු සඳහා විදේශ ණය ලබාගැනීම ද සීමා  කර තිබේ. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන මාස 20ක කාලය තුළ ලංකාවට විදේශ ණය ලබා ගත හැක්කේ ඩොලර් බිලියන 1.7ක් පමණි. පසුගිය මාස 20 තුළ ඩොලර් බිලියන දෙකක් ණයට ගත් ලංකාවට පවතින තත්වය තුල මෙම සීමාව රැක ගැනීම අසීරු ය. අගෝස්තු මාසයේදී ආපසු ගෙවීමට නියමිත කලින් දෑවුරුදු බැඳුම්කර යටතේ ගත් ණය ගෙවීම සඳහා රජය දැන් ඩොලර් මිලියන 150ක අලුත් ඩොලර් බැඳුම්කර නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. ගත් ණය පියවීම සඳහා ණය ගැනීමෙන් වැළකී සිටීමේ හැකියාවක් රජයට නැති බැවින් සීමා කරන්නට වෙන්නේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රාග්ධන ණය ලබාගැනීමයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලංකාවට ලැබෙන්නේ ඩොලර් බිලියන 2.6ක් පමණි. මෙම කාලය තුළ රජය විසින් ගෙවීමට තිබෙන ණය ප්‍රමාණය හා හෙජින් ගනුදෙනුවේ පාඩුව වූ ඩොලර් මිලියන 800 එකතු වූ විට ලැබෙන බිලියන 2.6ට වඩා වැඩි බව ආර්ථික විද්‍යාඥ හර්ෂ ද සිල්වා පවසයි. රජය දැනටමත් ඩොලර් මිලියන 500ක් ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොළෙන් ණයට ගැනීම සඳහා HSBC හා JPMorgan යන සමාගම් සමග කටයුතු කරමින් සිටියි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාවේ ආර්ථිකය කෙතරම් දැඩි පාලනයකට නතු කර තිබේ ද යන්න මෙම කරුණුවලින් පෙනේ. සත්තකින්ම, මේ ඔස්සේ ලංකාවේ ආර්ථිකයේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මුල පුරා ඇති බව පෙනේ.


දෙමළ අරගළය මර්දනය කර ලබා ගත් යුදමය ජයග්‍රහණය විසින් ඇති කර තිබෙන මර්දනීය සාමය පමණක් මේ මොහොතේදී රටට යම් වාසියක් වී තිබේ. අප යුද්ධය සදහා වියදම් කර ඇති මුලු මුදල රුපියල බිලියන 23000 ක් වෙතැයි නියෝජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෑතදී ප්‍රකාහ කළේය. මේ වනවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අනුමත කර ගෙන ඇති මුලු ණය ප්‍රමාණ‍ය වන රු බිලියන 299 මෙන් එය 75 ගුණයකි. ඉහළ කොත්මලේ ජලාශය සදහා වැය වන මුදල රු. බිලියන 30 කි. නොරෙච්චෝලෙයි තාප විදුලි බලාගාරය සදහා වැය වන මුදල රු බිලියන 51 කි. රුපියල් බිලියන 23000 කින් කොපමණ දේ කරන්නට තිබිණිද? මෙම යුද වියදමින් විශාල ප්‍රතිශතයක් ඉතිරි කර ගැනීමට හැකි වීම රජය අත ඇති තුරුම්පුවකි.


ඉහතදී ද සඳහන් කරන ලද එයිට්කන් කියන පරිදි ලංකාවේ රජය ආර්ථික අස්ථායීභාවයට රට ඇද දැමූ මූලික හේතුවලට පිළියම් යෙදීමට කැමැත්ත පළ කර තිබේ. මේ පිළියම් වනාහි ජාත්‍යන්තර මුලය අරමුදලේ විසඳුම් වේ. ලංකාවට ණය ප්‍රදානය කරන ගමන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ හා වැඩ බලන සභාපති තකතොෂි කැටෝ පැවසුවේ ලංකාවට "දුෂ්කර ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට" වන බවයි.


කොන්දේසි ප්‍රකාරව කටයුතු කරමින් ණය මුදල ලබාගෙන සතියකින් ජනාධිපතිවරයා රටේ බදු පද්ධතිය ඇගැයීමට හා මෑතකාලීන ආදායම් බිදවැටීමට හේතු අධ්‍යයනය කිරීම පිණිස බදු කොමිෂමක් පත් කළේය.


ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ලංකාව පිළිබඳ වැඩසටහන 2001-2004 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයේ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩසටහන ඔස්සේ සැලසුම් කළ ආකාරයෙන් ම පෞද්ගලික අංශයට ආර්ථිකය විවෘත කර දීම ඉලක්ක කර ගත් එකකි. විශේෂයෙන්ම, පසුගිය සම‍යේ රජය අසීමිත ලෙස බැංකුවලින් ණය ලබා ගැනීම හේතුවෙන් පෞද්ගලික අංශයේ ණය ගැනීමේ අවස්ථාව හීන විය. 2009 මැයි වන විට බැංකු විසින් රජයට දෙන ණය 86%කින් ද, සංස්ථාවලට දෙන ණය 77%කින් ද ඉහළ ගොස් තිබූ බව ද, පෞද්ගලික අංශයට දෙන ණය 4%කින් පහත වැටී තිබිණි. රජය ණය ගැනීම අඩු කර පෞද්ගලික අංශයට වැඩි අවස්ථා ලබා දීම මෙම ණය ලබාගැනීම සඳහා සිපිරිය යුතු තවත් කොන්දේසියකි.


මෙම ණය ලබා දෙන්නේ දෙමසකට වරක් කරනු ලබන ඇගයීමකින් අනතුරුවයි. ආර්ථික විනයක් නොමැති ලංකාවේ රජයට මෙම ඇගයීම සමත් වීම පහසු වන්නේ නැත. ජාත්‍යන්තර රාජ්‍ය මුල්‍ය සංගමයේ සභාපති එන්. ආර්. ගජේන්ද්‍රන් ජුලි මස අගභාගයේදී පැවති සම්මන්ත්‍රණයකදී පෙන්වා දුන්නේ දැනට පවතින තත්වය නොවෙනස්ව පැවතුණොත් 2009 වසර අවසානය වන විට අයවැය පරතරය 12%ක් පමණ විය හැකි බවයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි අනුව ලංකාව සිය වියදම් රු. ට්‍රිලියනයක මට්ටමේ තබා ගත යුතුය. එහෙත්, වසරේ මුල් කාර්තුවේ රාජ්‍ය මුල්‍ය හැසිරවීම අනුව ගත් කල මෙම වියදම ‍රු. ට්‍රිලියන 1.2ක් දක්වා ඉහළ යා හැකි බව ගජේන්ද්‍රන් පවසයි. රු. බිලියන් 200ක වියදම් කප්පාදුවක් යනු දළ දේශීය නිෂ්පාදිතයෙන් 4%ක මට්ටමේ කප්පාදුවක් බව හේ පැහැදිලි කරයි. ඊට අමතරව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි සැපිරීම පිණිස දළ දේශීය නිෂ්පාදනයෙන් 1%ක මට්ටමින් ඉහළ නැංවීමට ද රජය මේ වසරේ කටයුතු කළ යුතුය.


2009 වසර සඳහා ආදායම් තක්සේරුව රු. බිලියන 855කි. 2008 අවුරුද්දේ අයවැය යෝජනාවලින් අපේක්ෂිත ආදායම සහ සැබැ ආදායම අතර පරතරය රු. බිලියන 95කි. ආර්ථික අර්බුදය හමුවේ බොහෝ සමාගම් දැඩි දුෂ්කර තත්වයකට පත්ව සිටින තත්වයක් තුළ පෞද්ගලික අංශයෙන් තවත් බදු සූරාගැනීම කෙසේ වෙතත්, අපේක්ෂා කරන මට්ටමට ළඟා වීම පවා දුෂ්කර ය.


0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Favorites More