(2010 ජනවාරි 01) වෙළඳපලේ සහල් හිඟයක ලකුණු පහල වීම සහ නීතිවිරෝධි ලෙස වැඩි මිලට සහල් විකිණීමට වෙළඳුන් පෙළඹීමත් සමඟ රජය වෙළඳපළ හැසිරවීමට මැදිහත් වී ඇත. වෙළඳපළ පාලනය සඳහා රජය මැදිහත් වීම ඉතා හොඳ දෙයකි. මීට පෙරද රජය ඒ පදනම යටතේ සහල් වලට පාලන මිලක් නියම කිරීමට නිර්භීත විය. දැන් රජය බදු අඩු කිරීම සහ ආනයන සීමා ලිහිල් කිරීම හරහා සහල් මිල පහත හෙලීමට උත්සාහ කරයි. එය ක්‍ෂණික පියවරක් ලෙස රජයට කල හැකි පහසුම දෙයයි. එහෙත් ඊට අමතරව කල හැකි වඩා හොඳ දේද ඇත. පළමුවැන්න රජය විසින් වී සහ සහල් වශයෙන් වෙන වෙනම අවශ්‍ය තරම් ආරක්‍ෂිත තොග පවත්වාගෙන යාමයි. නමුත් රජය විසින් මිළදී ගත් වී මෙටි‍්‍රක් ටොන් 25,000ක් (එය ඇත්ත වශයෙන්ම මිළදී ගත යුතු ප‍්‍රමාණයෙන් 1/10 කි) සහල් වෙළඳපලේ ගැටළුවක් ඇතිවීමට පෙරම විකුණා දමන ලදී.
දෙවැන්න සහල් හිඟයක් ඇතිවිය හැකි කාලවකවානු සඳහා, විශේෂයෙන්ම නොවැම්බර් දෙසැම්බර් කාල සඳහා නිශ්චිත සීමාවකට යටත් කොට (තදබල අවශ්‍යතාවයක් ඇතිනම් පමණක්), සහල් ආනයනය කිරීමට අවසර දීමයි. එහිදී වඩා හොඳම දේ වන්නේ රජය මඟින්ම අවශ්‍ය තොගය ආනයනය කර ගබඩා කර තබා ගැනීමයි. සතොස ඇත්තේ ඒ සඳහාය. එයද අවශ්‍ය වෙලාවට කෙරුනේ නැත.
අද පවතින සහල් හිඟයට ප‍්‍රධාන හේතු දෙකක් ඇත. එකක් පසුගිය යල කන්නයේ අස්වැන්න යම් ප‍්‍රමාණයකට අඩු වීමයි. දෙවැන්න මහා පරිමාණ මෝල් හිමියන් සහ වෙනත් වෙළඳුන් වී තොග රැස්කරගෙන යම් පාලනයක් සහිතව වෙළඳ පලට නිකුත් කිරීමයි. (වාර්තා වී ඇති තොරතුරු වලට අනුව, මෙවර ගුරුවරුන්ද බැංකුවලින් අඩු පොළියට ණය ලබා ගෙන වී ගබඩා කරගෙන ඇත.) ඔවුන්ට එසේ කල හැකි වන්නේ සහල් ආනයනය කිරිමට ගතවන කාලය සහ ආනයනය කරනු ලබන ප‍්‍රමාණය අනුව සහල් නිකුත් කිරීම, පාලනය කිරීම ඔවුන් ඉතා හොඳින් අධ්‍යයනය කර ඇති නිසාය. එමෙන්ම මහ කන්නයේ අස්වනු කැපීම ආරම්භ වන කාලයද ඔවුන් ඉතා හොඳින් දනිති. එම තත්වය තුල වෙළඳපල සම්පූර්ණයෙන්ම අත්අඩංගුවට ගැනීමට ඔවුන් සමත් වී ඇත. එසේ වුවත්, වෙළදපලේ බරපතල සහල් හිඟයක් නැත. මේ වන විට ඕනෑම නගරයක සහල් මිලදී ගැනීමට හැකියාව ඇත. පසුගිය 2008 මාර්තු සහල් හිඟය කාලයේ සම්බා කිලෝ එකක් රු. 120 දක්වා ඉහල ගියේය. නමුත්, අද නීති විරෝධීව වැඩි මිලට විකුණන්නේ රු. 80ක පමණ මිළකටය.
කාලයක් තිස්සේ සහල් කර්මාන්තයේ නොවිසඳී තිබූ ගැටළු නිසා මේ වන විට කුඩා සහ මධ්‍යම පරිමාණ මෝල් ප‍්‍රමාණයක් වැසී ඇති බැවින් සහ ක‍්‍රියාත්මක වන වී මෝල් වලට වී තොග නොමැති බැවින් මහා පරිමාණ මෝල් සමඟ සාධාරණ තරඟයක් දීමට ඔවුන් අසමත් වී ඇත. දැනට මරදගහමුල පමණක් මෝල් 750ක් අතුරින් ක‍්‍රියාත්මක වන්නේ 12ක් පමණි. රජය මඟින් වී මිළදී ගැනීම සඳහා සහන පොළියට ණය ලබා දෙන්නේ මහා පරිමාණ මෝල් වලට පමණි. එමෙන්ම සහල් කර්මාන්තයේ පිරිවැය ව්‍යුහයට අනුව පවතින පාලන මිලට සහල් දීම සඳහා වී මිලද සහතික මිල ආසන්නයේ පැවතිය යුතුය. වී මිල යම් ප‍්‍රමාණයකට වඩා ඉහලගිය විට සහල් කර්මාන්තය පාඩු ලැබීමට පටන් ගනී.
බොහෝ කුඩා සහ මධ්‍යම පරිමාණ මෝල් පවතින්නේ ඉතා සොච්චම් ලාභයක් මතය. එයද ලැබෙන්නේ සිය දරු පවුලම දවසේ පැය 12ක් පමණ වැඩ කිරීම නිසාය. දැන් වෙළඳපල වී මිල ඉහල ගියද ගොවියාට හෝ කුඩා මෝල් හිමියාට වාසියක් නැත. වී තොග ඇත්තේ මහා පරිමාණ මෝල්වල සහ තොග ගබඩාකරුවන් ලඟය. ගොවියා අඩු මිලට වී විකුණා හමාරය. ඇත්ත වශයෙන්ම මහා පරිමාණ සහල් මෝල් වලටද ලාභයක් ලැබෙන්නේ අඩු මිලට වී තොග රැස් කිරීම නිසා මිස සහල් සකස් කිරීමේ ක‍්‍රියාවලියෙන් නොවේ. මේ තත්වය ප‍්‍රශ්ණයේ මූලයට ගොස් වෙනස් කිරීම සඳහා අවශ්‍ය නීතිමය පදනමද අප රටේ නැත. ඉන්දියාව වැනි රටවල් ආහාර සුරක්‍ෂිතතා පනතක් මඟින් ආහාර තොග රැස්කරන්නවුන්ගේ කූඨ ක‍්‍රියා මැඬලීමට සමත් වී ඇතත්, අප තවම සිට්න්නේ බෝහෝ පිටුපසිනි. එනිසා බදු එහා මෙහා කිරීම සහ සහනාධාර උපාංග භාවිතා කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයි කීමටද හැකියාවලැබී ඇත.
මේ තත්වය තුල ආනයනික සහල් සඳහා තිබූ සෙස් බද්ද 25%කින් අඩු කිරීම සහ නිදහස් ලෙස සහල් ආනයනය කිරීමට ඉඩදීම හදිසි පියවරක් ලෙස තර්කානුකූල වේ. එහෙත් වඩා හොඳ වන්නේ රජය මඟින් සිදු කෙරෙන ගණුදෙනුවක් ලෙස සතොස හරහා ක්‍ණිකව සහල් තොග ප‍්‍රමාණයක් ආනයනය කිරීමයි. කෙසේ වෙතත් දීර්ඝ කාලීනව මෙම පියවරද තොග වෙළඳුන් විසින් අයථා ලෙස යොදා ගන්නවා ඇත. දැන් ඔවුන්ට ඉදිරි මාස කිහිපයට අවශ්‍ය සහල් අඩු බද්දක් යටතේ ආනයනය කර ගබඩා කිරීමේ හැකියාව ඇත. ඇත්ත වශයෙන්ම ආනයනය කරන සහල් ප‍්‍රමාණයට සහ කාල රාමුවට දැඩි සීමාවක් පනවා බද්ද තවත් සුළු ප‍්‍රතිශතයකින් අඩු කලද වරදක් නැත.
සමහර විට රජය මෙම පියවර ගන්නේ මහා පරිමාණ මෝල් හිමියන් විසින් තම තොග ඉක්මනින් වෙළඳ පොලට නිකුත් කරනු ඇතැයි යන බලපොරොත්තුව ඇතිව විය හැක. එහෙත් මෝල් හිමියෝ හා වෙළෙන්දෝ ලෝකයේ සහල් හිඟයන් පවතින බව ඉතා හොඳින් දනිති. එමෙන්ම මාස් කන්නයේ අස්වනු කැපීමට ගතවන කාලය මෙන්ම සහල් නැව් වරායට ඒමට ගතවන කාලයද ඔවුහු ඉතා හොඳින් දනිති. ඒ නිසා ඔවුන් බිය වැද්දීම නම් කල නොහැකි දෙයක් බව අප තේරුම් ගත යුතුය. එමෙන්ම ඔවුන් ආනයනික සහල් තොග භීතිය මවා පාමින් ගොවියා බිය වද්දා මහ කන්නයේ අස්වැන්නද අඩු මිලට මිලදී ගැනීමට දක්‍ෂයින් බව අප තේරුම් ගත යුතුය.
කෙසේ වෙතත්, සහල් ආනයනය සඳහා රජය විසින් බදු අඩු කිරීම පිළිබඳව මහජනයාට බරපතල ගැටළුවක් තිබිය නොහැක. එය සාපේක්‍ෂව නිවැරදි තීන්දුවකි. නමුත් මේ අවස්ථාවේ තිරිඟු පිටි සඳහා රු. 10 (100%කින්) කින් බදු අඩු කිරීමට තීන්දුවක් ගැනීම පැහැදිලි කරන්නේ කෙසේද? දැනට තිරිඟු පිටි වෙළඳපළේ කිසිදු ගැටළුවක් ඇතිවී නැත. එය ඕනෑවටත් වඩා කාර්යක්‍ෂම වෙළඳ පලකි. මෙපමණ මුදලකින් බදු අඩු කල ඉතිහාසයේ ප‍්‍රථම අවස්ථාව මෙය වේ. සහල් මිල අඩු කිරීමේ (පාලන මිලට වඩා වැඩි මිලට විකිණීම වැළැක්වීමේ) ඉල්ලූමක් සමාජය තුලින් පැන නැඟුනද තිරිඟු පිටි මිල අඩු කිරීම සඳහා වන ඉල්ලීමක් සමාජයෙන් මතුවුනේ නැත. බේකරි හිමියන් උදක්ම ඉල්ලා සිටියේ තිරිඟු පිටි සඳහා වන බදු වැඩි නොකරන ලෙස පමණි. එසේනම් එම ඉල්ලීම ඉදිරිපත් වුනේ ‘‘පාන් පිටි සමාගමෙන්ද?’’
භාණ්ඩාගාර ලේකම් තුමාට අනුව, ඉදිරි සතිය ඇතුළත සහල් මෙ.ටො. 80,000කට වැඩි ප‍්‍රමාණයක් වරායට ලඟා වනු ඇත. වෙළඳපල තොරතුරු පදනම් කරගෙන දිවයින පුවත් පත වාර්තා කර තිබූ ආකාරයට සති දෙකක් තුල සහල් මෙ.ටො. ලක්‍ෂ දෙකක් දිවයිනට ලඟා වේ. එමෙන්ම, මහ කන්නයේ අස්වනු කැපීම ජනවාරි මැද වන විට ආරම්භ වේ. එවැනි තත්වයක් තුල දිගින් දිගටම අඩු බදු යටතේ සහල් තොග ආනයනය කිරීමට ඉඩ දීමේ අවශ්‍යතාවයක් නැත. ඉහත සඳහන් කල දිවයින පුවතට අදාල ණයවර ලිපි නිකුත් වී ඇතිනම් එම සහල් වරායට ලඟා වන තෙක් නොසිට තව දුරටත් සහල් ආනයනය කිරීම නැවැත්විය යුතුය. එසේ නැතහොත් පෙබරවාරි-මාර්තු වන විට වී මිළ බරපතල ලෙස පහත වැටෙනු ඇත. සමහර විට ඒ මඟින් පාරිභෝගිකයාට කෙටි කලකට වාසියක් දැනිය හැකි වුවද වී ගොවියා ඇදවැට්ටුවහොත් ඒ සඳහා දෙගුණයක වන්දියක් ගෙවීමට සිදුවේ. එසේනම්, මේ අවස්ථාව අයථා ලෙස ප‍්‍රයෝජනයට ගෙන තිරිඟු පිටි බදු අඩු කිරීමේ අංශු මාත‍්‍ර හෝ සාධාරණ හේතුවක් තිබෙන්නේ කෙසේද?
තිරිඟු පිටි මිල අඩු කිරීමෙන් ජීවන වියදම් ප‍්‍රශ්ණයට කෙටි කාලීනව හෝ විසඳුමක් ලැබෙන්නේ නැත. මෙම බදු වාසියෙන් වැඩි ප‍්‍රමාණය පාන් පිටි සමාගම සහ බේකරි හිමියන් විසින් අවශෝෂනය කර ගන්නා බැවින් පාන් ගෙඩියක මිළ රු. 2ක් හෝ 3කට වඩා අඩු වන්නේ නැත. ඒ අනුව ජීවන වියදම කෙසේ වෙතත් එක් පවුලකට දිනකට බුලත් විටක් මිලදී ගන්නා මුදලවත් ඉතිරි වන්නේ නැත. නමුත් රුපියලේ දෙකේ ලාභයට පවත්වාගෙන යන සහල් පිටි කර්මාන්තයට එය මාරක ප‍්‍රහාරයකි. දැන් තිබෙන තත්වය අනුව බේකරි හිමියන් පවසන්නේ ඔවුන් ලඟ මාස තුනකට තිරිඟු පිටි තොග ඇති බැවින් එම අඩු කිරීම් සඳහා මාස තුනක් ගතවන බවයි. ඒ අනුව ඒ බුලත් විටේ සහනය ලබා ගැනීමටත් මාස තුනක් බලා සිටිය යුතුය. ඒ වන විට වෙළඳපලේ සහල් හිඟය සම්පූර්ණයෙන් පහවී යන තත්වයක් තුල පාන් පිටි මිළ අඩු කිරීමට හේතුවක් ඉතිරි වන්නේ නැත. (පාන් පිටි සමාගමේ අවශ්‍යතාවය ඉටු කිරීම හැර) හාස්‍යයට කාරණය වන්නේ මහජනයාට සාධාරණය ඉටු කිරීමට සැරසෙන පාන් පිටි සමාගම රජය විසින් අඩු කල බද්ද පමණක් පිටි මිලෙන් අඩු කලද ඔවුන්ගේ සුපිරි පාන් ගෙඩිය විකුණන්නේ රු. 100කට ආසන්න මිළකට වීමය.
සහල් කර්මාන්තයේ අර්බුදයක් නැති තත්වයක් යටතේ වුවද ලබන පෙරබරවාරි මාසයේ සිට උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවලින් ජාතික වී නිෂ්පාදනයට අළුතින් එකතු වන අස්වනු ප‍්‍රමාණයක් සමඟ වී මිල වැටීම සහ සිතා මතා වැට්ටවීම වැළැක්වීම සඳහා අවශ්‍යතා කිහිපයක් සැපිරිය යුතුව ඇත. ඉන් පළමුවැන්න සහල් නිෂ්පාදනයෙන් 20%-30% ක ප‍්‍රමාණයක් සහල් පිටි නිෂ්පාදනය සඳහා යොදාගැනීමයි. එහිදී සහල් පිටි මිල තිරිඟු පිටි මිලට වඩා රුපියලක් හෝ අඩුවෙන් තිබීම තීරණාත්මක සාධකයක් වෙයි. එම උපායමාර්ගික ප‍්‍රවේශය තුල පසුගිය වසර දෙක තුනක කාලය ඇතුලත මවුබිම ලංකා පදනම, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය වැනි ජාතික සංවිධාන සහ කර්මාන්ත අමාත්‍යාංශය විශාල ක‍්‍රියාකාරකම් රාශියක් දියත් කරන්්නට යෙදුනි. ඒ සඳහා කර්මාන්ත අමාත්‍ය තුමා මෙන්ම එම අමාත්‍යාංශයේ ලේකම් තුමාද විශාල වැඩ කොටසක් ඉටු කල බවද විශේෂයෙන් සඳහන් කල යුතුය. එහි ප‍්‍රථිඵලයක් ලෙස පාන් පිටි සමාගමට හොඳ තරගයක් දිය හැකි ප‍්‍රභල දේශීය ව්‍යාපාරිකයන් පිරිසක් මහා පරිමාණ සහල් පිටි කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම් කරමින් සිටියහ. වෙළඳ අමාත්‍යංශය පාන් පිටි සමාගමේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීම නිසා බරපතල අතුල් පහරක් එල්ල වන්නේ ඒ සියළු ප‍්‍රයත්නයන්ටයි. මේ තත්වය තේරුම් ගෙනදෝ හේමකුමාර නානායක්කාර ඇමතිවරයා සඳහන් කරන්නේ තිරිඟු පිටි මිළ අඩු කලේ කෙටි කලකට බවයි. එම ප‍්‍රකාශයෙන් ඔහු වක‍්‍රව පවසන්නේ තිරිඟු පිටි මිල අඩු කිරීම අනතුරුදායක ක‍්‍රියාවක් බවයි. කෙසේ වෙතත් කූඨ වෙළඳ උපක‍්‍රම පිළිබඳව හසල දැනුමක් ඇති පාන් පිටි සමාගමට නම් එම කෙටි කාලයත් හොඳටම සෑහේ. ඒ එම කෙටි කාලය තුල සහල් පිටි කර්මාන්තය නැවත නැඟිටිය නොහැකි ලෙස සම්පූර්ණයෙන්ම කඩා වැටෙන බව ඔවුන් ඉතා හොඳින් දන්නා නිසාය. ඊට අමතරව වී මිල වැටීමක් සමඟ මෙම පාන් පිටි සමාගමට අනුබද්ද සත්ව ආහාර සමාගමට අඩු මිලට වී මිලදී ගෙන එමඟින්ද ලාබ ඉපයීමේ අවස්ථාව උදා වේ. මෙය එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගැනීමකි.
හේමකුමාර ඇමතිවරයා මෙන්ම මෛත‍්‍රීපාල සිරිසේන ඇමතිවරයාද පාන්පිටි බදු අඩු කිරීමේ තීන්දුවට අකැමැති බවට කිසිදු සැකයක් නැත. මහජනයාගේ පැත්තෙන් නම් මේ ආර්ථික ඝාතක ලණුව අඹරා දුන්නේ කුමන නිළධාරියාද යන්න සොයාගැනීමේ අවශ්‍යතාවයක් ඇත. එයට හේතුව මේ ලණු අඹරන යන්ත‍්‍රය නැවැත්වූයේ නැතිනම් මේ රටට කිසිදාක ගොඩ ඒමට හැකියාවක් නැතිවීමයි.
අනෙක් කාරණය නම් කෙටිකාලීනව පාරිභෝගිකයාට බොරු සහන දෙමින් රැවටීමට ලක් කිරීමෙන් දේශපාලනය දැන්වත් නැවැත්විය යුතුය. නිෂ්පාදන ආර්ථිකය කඩා වට්ටවා ලැබෙන බදුත් ආපසු ගෙවමින් දීර්ඝ කාලීනව පාරිභෝගිකයාට සහන ලබා දිය නොහැක. ඒ පරම සත්‍යය පාරිභෝගිකයා හොඳින් තේරුම්ගත යුතු කාලය පැමිණ ඇත. අනෙකුත් ආහාර ද්‍රව්‍ය වල මිල සහ සහල් නිෂපාදන පිරිවැය සැසදීමේදී දැන් තිබෙන පාලන මිල සාපේක්‍ෂව සාධාරණ මිලකි. ඇත්ත වශයෙන්ම පිරිවැය ව්‍යුහය තර්කානුකූලව විමසා බැලීමේදී අඩු වශයෙන් නාඩු සහල් මිලවත් තව රුපියල් පහකින් ඉහල දැමිය යුතු බව පෙනේ.
ඉහත සඳහන් කල ආකාරයට සහල් කර්මාන්තයේ ගැටළු විසඳීම සඳහා වඩා හොඳ ක‍්‍රියාමාර්ග වලින් තුන්වැන්න වන්නේ සහල් වල පවතින පාලන මිල එම මට්ටමින් පවත්වාගෙන යාම සඳහා සහල් කර්මාන්තකරුවන්ට යම් සහන ප‍්‍රමාණයක් ලබා දීමයි. ඒ සඳහා පාන් පිටි සමාගමට නිර්ලෝභීව ලබා දෙන සහන වලින් අංශුමාත‍්‍රයක් වත් වත් අවශ්‍යවන්නේ නැත. මෙම සහන පිළිබඳව සංකේතාත්මකව සඳහන් කලොත්, ජාතිය ගොඩනැඟීමේ බද්ද අහෝසි කිරීම, විදුලි බිලට අයකරන කේ.වී.ඒ. සාධකය අහෝසි කිරීම ආදිය ප‍්‍රමුඛ වේ.
එසේම වඩා හොඳ ක‍්‍රියාමාර්ගවල හතරවැන්න ලෙස මහා පරිමාණ මෝල් හිමියන්ගේ ඒකාධිකාරිය පාලනය කිරීම සඳහා කුඩා සහ මධ්‍යම පරිමාණ මෝල් හිමියන්ටද සාධාරණ ලෙස වී මිළදී ගැනීම සඳහා සහන පොළියට ණය ලබා දීම සඳහන් කල හැක. එමෙන්ම රජයේ ආරක්‍ණන වී තොග කුඩා සහ මධ්‍යම පරිමාණ මෝල් හිමියන්ට පමණක් නිකුත් කිරීමද මීට අයත් වේ.
මේ කිසිවක් විධිමත්ව ක‍්‍රියාත්මක නොවන තත්වයක් තුල නව සහල් සහ සහල් පිටි කර්මාන්ත ශාලා බිහිවීම කෙසේ වෙතත්, තිබෙන කර්මාන්ත ශාලාද ඉතා කෙටි කලක් තුල බිඳ වැටෙන බවට කිසිදු සැකයක් නැත. එවිට සමස්ථ සහල් වෙළඳපල මහා පරිමාණ මෝල් හිමියන්ගේ අත්අඩංගුවට පත්වනු ඇත. එහි ඵල විපාක ලබන මහ කන්නයේ අස්වැනන් කැපෙන (පෙබරවාරි-මාර්තු) වන විට ලක්‍ෂ 8 කට අධික වී ගොවි පවුල් වලට විඳීමට සිදුවනු ඇත. දැන් තිබෙන තත්වය යටතේ අඩු කල තිරිඟු පිටි බද්ද අනුව මිළ අඩු වීම සිදු වන්නේද එම කාලයටය. එවිට වී මිළ වැටීම තවත් තීව‍්‍ර වනු ඇත.
එපමණක් නොව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පාන්පිටි සමාගමේ ඉල්ලීමට කන්දී ඉතිහාසයේ වැඩිම බදු ඉවත් කිරීම ලබා දීම නිසා රජයට වසරකට දැරීමට සිදුවන පාඩුව රු. මිලියන 5000 අධිකය. මේ මුදල පාන්පිටි සමාගමේ ගිවිසුම අවසන් වූ පසුව නැවත වසර 50කට බදු දීම මඟින් උපයා ගත් මුදලට දළ වශයෙන් සමාන වේ. (එසේ වුවත්, පාන්පිටි සමාගම රජයට පොරොන්දු වූ එම මුදල ගිවිසුම අත්සන් කලාට පසුව ඒ ආකාරයෙන්ම ගෙවා නිමකල බවට රාජ්‍ය ලේඛණ වල සාක්‍ෂි පෙන්වන්නේ නැත.) මෙම මුදලින් වසරකට කුඩා වැව් 5000 බැගින් ප‍්‍රතිසංස්කරණය කොට රට ආහාරයෙන් ස්වයංපෝෂිත කිරීමේ ව්‍යායාමය වසර 3-4 කින් නිමා කල හැක. එමෙන්ම සහල් සහ සහල් පිටි කර්මාන්තයේ සියළු ගැටළු විසඳීම සඳහා පාන් පිටි සමාගමට ලබා දෙන වසරක සහනාධාරයෙන් භාගයක් හොඳටම සෑහේ.
ඇත්ත වශයෙන්ම ජාතික ආර්ථිකයක් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සියල්ල ඉල්ලා සිටියේ දීර්ඝ කාලයක් තිස්සේ තිරිඟු පිට පරිභෝජනය කිරීම නිසා අද රටේ උත්සන්න වී ඇති දියවැඩියා සහ ගැස්ට‍්‍රයිටීස් වැනි රෝග තත්වයන් පාලනය කිරීම සඳහා රජය වැය කරන මුදල් ප‍්‍රමාණයද සැලකිල්ලට ගෙන තිරිඟු පිටි සඳහා අවම වශයෙන් තවත් රු. 5ක හෝ සෙස් බද්දක් පනවන ලෙසය. ඒ මඟින් තරිඟු පිටි සහ සහල් පිටි තර වෙළඳ පල තරඟයේදී සහල් පිටි වලට වඩා වැඩි වාසි සහගත තත්වයක් ඇති කිරීම අරමුණු කෙරේ. නමුත් අද සිදුවී ඇත්තේ ඊට හාත්පසින්ම විරුද්ධ දේය.
තිරිඟු පිටි පරිභෝජනය අවම කිරීම යනු, විදේශ විනිමය රු. මිලියන 20,000ක් ඉතිරි කර ගැනීම හෝ ජාතික ආර්ථිකයට මෙන්ම මහජන සෞඛ්‍යයටද හිතවාදී ආහාර සංස්කෘතියක් ගොඩනැඟීමේ පූර්ව කොන්දේසියක් පමණක් නොවේ.එය රටේ ජාතික ආර්ථිකය තරම්ම වැදගත් වූ ජාතික ආහාර සුරක්‍ෂිතතාව සමඟ බැඳුනු කාරණයකි. එමෙන්ම එය ජාතික නිෂ්පාදන ආර්ථිකයක් දෙසට රට යොමු කිරීමේ ප‍්‍රබල උපායමාර්ගික අවශ්‍යතාවයකි. එය නොසලකන්නේ නම් ‘‘අපි වවමු - රට නඟමු’’ වැඩසටහන් බොරු සටන් පාඨ පමණක් බවට පත් වනු ඇත. තිරිගු පිටි පිළිබඳව රජයේ ආකල්පය පැහැදිලිවම ඔවුන් ඉදිරියේදී අනුගමනය කරන ජාතික ආර්ථික ප‍්‍රතිපත්ති පිළිබඳ පෙර දැක්මකි.
0 comments:
Post a Comment