Monday, January 25, 2010

ජනාධිපතිවරණ උගුලෙන් මිදී ජනතාවගේ න්‍යාය පත‍්‍රයක් ගොඩ නගමු

ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය
 
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය මේ වන විට රටේ ප‍්‍රධාන මාතෘකාව බවට පත් වී ඇත. පසුගිය කාලය පුරා පැවති සියලූ මැතිවරණවල දී මෙන්ම මෙවර ජනාධිපතිවරණයේ දීත් ජනතාවට ලබා දී ඇති ප‍්‍රශ්නය වන්නේ ‘මේ දෙදෙනාගෙන් සහාය දක්වන්නේ කාට ද ?’ යන්න තිරණය කිරීම පමණකි. මේ ප‍්‍රශ්නයට පිළිතුරු දීම තුළ මිලියන ගණනක් සාමාන්‍ය දුප්පත් ජනතාවට තමන්ව පීඩාවට පත් කරන පාලකයෙකුට හෝ පාලන තන්ත‍්‍රයකට නීත්‍යානුකූලභාවයක් ලබා දීමට සිදු වී තිබේ.

ලංකාවේත්, ලෝකයේත් අත්දැකීම්වලින් පෙනී යන්නේ සාමාන්‍ය ජනතාව මුහුණ දෙන විවිධාකාර අර්බුද සඳහා විසඳුම් සෙවීමට ධනපති නායකයින් අපොහොසත් වී ඇති බවයි. එබැවින්, තවමත් අතිශය බහුතරයක් දිළින්ඳන් වන, සාමාන්‍ය ජනතාවට තමන්ගේ අවශ්‍යතාවයන් සෘජුවම ආමන්ත‍්‍රණය කරන න්‍යාය පත‍්‍රයක් අප විසින් සැපයිය යුතුව තිබේ. එය සමාජ සාධාරණත්වය ආමන්ත‍්‍රණය කරන, ආර්ථික තිරසාරභාවය ළඟා කර ගන්නා සහ ජනතාවගේ ස්වාධිපත්‍යයට ගරු කරන හා දේශපාලන ප‍්‍රචණ්ඩත්වය වළක්වන සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් උදා කර දෙන න්‍යාය පත‍්‍රයක් විය යුතුය. එ් තුළ සාමාන්‍ය ජනතාවට ආර්ථික සැලසුම් සකස් කිරිමේ න්‍යාය පත‍්‍රය හා එයට බලපාන දේශපාලන පද්ධතිය හිමි කර ගැනීමේ අවස්ථාව ලබා දිය යුතුය.

ප‍්‍රාග්ධනයේ නොහැකියාව

දිළින්ඳන්ට දිළිඳුභාවයෙන් ගොඩ එ්මේ උපාය මාර්ගය දේශීය හෝ විදේශීය බාහිර ප‍්‍රාග්ධනය මත රඳා නොපැවතිය යුතුය. එසේ සිදුවිය යුත්තේ ප‍්‍රාග්ධනය බාහිරින් ආයෝජනය කරන අය වැඩි වැඩියෙන් ප‍්‍රාග්ධනය එක්රැුස් කිරීමේ අරමුණින් මේ සඳහා යොමුවන බැවින් මේ ප‍්‍රාග්ධනය දිළිඳුකම අඩු කිරිම සඳහා පහළට කාන්දු වීම හෝ සමාන ලෙස බෙදීයාම වළක්වන බැවිනි. මේ ප‍්‍රාග්ධනය ණයට ලබා ගත් විට ණයකරුවන් මෙම ප‍්‍රාග්ධනය ණයට ලබා දීමේ ක‍්‍රියාවලිය තමන්ට අවශ්‍ය දේ කරවා ගැනීම සඳහා යොදා ගනි. මේ තුළ ජනතාවගේ ස්වෛරීභාවය අහිමි වී යන අතර ඡුන්දවල දී තෝරා පත් කර ගනු ලැබූ නියෝජිතයන්ට ද ණයකරුවන් සමග එකඟ නොවීමට ඇත්තේ ඉතා සීමිත අවස්ථාවකි.

දිළිඳු ජනතාවගේ මූලික අවශ්‍යතාවය ඔවුන්ගේ සාගින්න පිළිබඳ ගැටලූව විසඳාලීමයි. ඉන්පසුව සෞඛ්‍ය, නිවාස, අධ්‍යාපනය, ජීවිකාවන් සහ සංස්කෘතිය වැනි අවශ්‍යතාවන් මෙන්ම නවීකරණ ක‍්‍රියාවලිය තුළ ගොඩ නැගී ඇති මනුෂ්‍ය වර්ගයා විසින් අපේක්ෂා කරන ඔවුන්ගේ හැකියාවන් හා අවබෝධයන් වැඩි දියුණු කරන, සංවිධානය වීමට හා ස්වයං පාලනය සඳහා අවශ්‍ය හැකියාවන් මෙන්ම උන්නතියේ හා විනෝදාස්වාදයේ අවශ්‍යතාවන් ද විසඳාලිය හැක.

ප‍්‍රාග්ධනය මත රඳා නොපවතින උපාය මාර්ගයක ප‍්‍රධාන මූලධර්මය නම් මනුෂ්‍ය වර්ගයාගේ හැකියාවන්, ඔවුන්ගේ නිර්මාණශීලිත්වය සොබාදහමේ නොමිලයේ ඇති වාසි සමග ඒකාබද්ධ කිරීමයි. ආහාර නිෂ්පාදන කරනු ලබන ක‍්‍රමවේදයේ ප‍්‍රධාන පරිවර්තනයක් අත්‍යවශ්‍ය ආරම්භක ස්ථානය විය හැක.
ප‍්‍රමුඛතාවය ලැබිය යුත්තේ ‘නොනැසි පැවතීම’ සඳහා විය යුතු අතර එය මග පෙන්වන මූලධර්මය විය යුතුය. ‘තිරසාරභාවය’ වැනි අවධානයන් මගින් සමස්ත පැවැත්ම සම්බන්ධයෙන් තර්ජනයක් එල්ල වී තිබෙන බව පැහැදිලි වේ. නමුත් මේ මොහොතේ ලෝකයට අවශ්‍ය වන්නේ නිකම්ම ‘තිරසාරභාවය’ නොවන බව වටහා ගත යුතුය. මූලිකව තිරසාර නොවන පද්ධතීන් තිරසාර කිරිම කළ නොහැක.

සැබෑ විකල්ප ගොඩ නගමු

පිටමං කරන ලද ජනතාවගේ න්‍යාය පත‍්‍රය ශීඝ‍්‍රයෙන් ඉස්මතු වන ‘පාරිසරික කෘෂිකර්මය’ කොටසක් වන  ප‍්‍රතිඋත්පාදනය වීමට සොබාදහමට ඇති හැකියාව නැවත ගොඩ නැගීම මත පදනම් වූ පැවැත්ම සම්බන්ධ එකක් විය යුතුය. මෙය බාහිර රසායනික යෙදවුම් මත පදනම් නොවී ආහාර නිෂ්පාදනය සඳහා යෙදෙන කාබනික කෘෂිකර්මය හෝ තිරසාර කෘෂිකර්මයට වඩා පුළුල් අදහසකි. මෙය ‘ප‍්‍රතිඋත්පාදන කෘෂිකර්මය’ වේ. මනුෂ්‍ය වර්ගයාට හා අනෙකුත් ජීවින්ගේ පැවැත්ම තහවුරු කිරීමට නම් සොබාදහමේ ප‍්‍රතිඋත්පාදන ශක්තිය නැවත ගොඩ නැගීමට අපට සිදුවනු ඇත.

යම්කිසි ශාඛයක හෝ ගසක ස්වභාවික වැඞීමේ ක‍්‍රියාවලිය මුළුමනින්ම රදා පවතිනුයේ ස්වභාවධර්මයේ නොමිලයේ ලැබෙන දායාදයන් ගෙනි. මෙය මුළුමනින්ම ස්වභාවික චක‍්‍රයකි.  එය වැඞී මල්ඵල බිහිකරන්නේ සෙසු ජීවින්ට අවශ්‍ය ආහාර සදහාය. ඉන් පසුව එය වයස්ගත වී, මියගොස් දිරාපත් වෙයි. මෙය කෙනෙකුට සිතිය හැකි විශාලතම වර්ධන ක‍්‍රියාවලිය වේ. මෙසේ දිරාපත් වන කොළ, අතු සහ සතුන් ද උන් මළපහ කරන දෑ ද පොළවට වැටී තව දුරටත් දිරාපත් වේ. මේ සිදුවන දිරාපත්  වීම කරනු ලබන්නේ කෝටි, ප‍්‍රකෝටි ගණනක් වන ක්‍ෂුද්‍ර ජීවීන්, ගැඩවිල් පණුවන් හා වෙනත් කුඩා ජීවීන් විසිනි. මතුපිට පස මෙම ක්‍ෂුද්‍ර ජීවීන් ර`දවා ගත හැකි පසුබිමක් පවත්වාගෙන යයි. එය සිදුවන්නේ මතුපිට පස, සුළ`ග හෝ වැස්ස නිසා ඛාදනය සෝදාපාළුවීම සිදුනොවන විටය. මෙම ක්‍ෂුද්‍ර ජීවීන්ගේ ක‍්‍රියාකාරිත්වය අනවශ්‍ය ලෙස සී සෑම හෝ මතුපිට පස උදළුගෑම නිසා විනාශ විය හැක. අහිතකර, විෂ සහිත වල් නාශක, කෘමිනාශක හෝ රසායනික පොහොර එකතු කිරීම නිසාද මෙම ක්‍ෂුද්‍ර ජීවීන් හා උන්ගේ ක‍්‍රියාකාරිත්වය විනාශ විය හැක.

මේ කාර්යයන් සිදුවීම සදහා පැලෑටි, ගස් හා සතුන් විසින් නිපදවන සියලූම කාබනික ද්‍රව්‍ය යළි ප‍්‍රතිචක‍්‍රීකරණය අවශ්‍ය වේ. එබැවින් නිවැරදි පාරිසරික ගොවිතැනකදී සත්ත්ව හා ශාක යන දෙකොටසම වගා කිරීම අවශ්‍ය වේ. ඒ සබඳතාවය අවශ්‍ය වන්නකි. තවද, දේශිය ගවයින් හා සතුන් මෙහිදී වඩා හොඳ ප‍්‍රතිඵල ලබාදෙන බවද සොයාගෙන ඇත. මෙම ගොවිතැන් ක‍්‍රමයේදි දේශිය (ආවේනික) බීජ උපයෝගී කොටගැනීම වැදගත් වන්නේ, ඒවා, ඒ ඒ ස්වභාවික තත්වයට වඩා ගැලපෙන ලෙස සකස් වී, හැඩගැසී ඇති නිසාය.  


ආහාර හා කෘමිනාශක, වල් නාශක වැනි කෘෂිකාර්මික යෙදවුම් ආනයනයන් මත අපට තව දුරටත් රඳා සිටිය නොහැක. මේ වන විටත් හානිකර රසායනික යෙදවුම් නිසා පසේ ස්වාභාවික සාරවත්භාවයට අති විශාල හානියක් සිදුව ඇති අතර, ජලය, පස, ආහාර හා වටපිටාව දැවැන්ත ලෙස දූෂණයට භාජනය වී තිබේ. කෘමිනාශක විෂවීම් නිසා සිදුවන මරණ හා රෝගාබාධ ද ශීඝ‍්‍ර ලෙස වැඩි වෙමින් පවතී.


බොහොමයක් සංවිධාන හා ජනතාව දැනටමත් මෙවැනි න්‍යාය පත‍්‍රයක් තුළ කටයුතු කරති. යෝජනා කරන එක් ක‍්‍රියාවලියක් නම් මෙබඳු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් මගින් දුප්පත් / පීඩිත ජනතාවගේ න්‍යාය පත‍්‍රය හා ඉදිරි දර්ශනයක් කෙටුම්පත් කොට ජනතා සංවිධානවල පුළුල් සංවාදය හා විමර්ශනයකට ලක් කිරීම එම සංවිධාන මගින් දියත් කිරීමයි. මෙය කළ යුත්තේ ඡුන්දයෙන් පත්වන ජනාධිපතිවරයා කවුරුන් හෝ වේවා එවැන්නක් කරාවි යන මිත්‍යාවෙන් තොරවය. මෙය ජනතාවගේ න්‍යාය පත‍්‍රයක් හා ඔවුන් විසින් ක‍්‍රියාවට නගන්නක් විය යුතුය. එහි ‘අයිතිය’ ඔවුන් විසින් ප‍්‍රකාශයට පත් කළ යුතුය. ඔවුන්ගේ අත්දැකීම් මත පදනම් විය යුතුය. මෙබඳු න්‍යාය පත‍්‍රයක බොහෝ දේ රජයයන් විසින් කරන දේ නොතකා ක‍්‍රියාත්මක කළ හැකිව ඇත. සංකල්ප වඩා ගැඹුරට වටහා ගැනිමේ හොඳම ක‍්‍රමය වන්නේ ඒවා ක‍්‍රියාවට නැගීමයි.














0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Favorites More