Monday, June 22, 2009

ආහාර අර්බුදයක් නිෂ්පාදනය කිරීම

වෝල්ඩන් බෙලෝ, 2008 මැයි 15
පරිවර්තනය: සඳුන් තුඩුගල පසුගිය වසරේ මෙක්සිකෝවේ දී දස දහස් ගණනක් මිනිසුන් තමන්ගේ ප‍්‍රධානතම ආහාරවල මිල ගණන් 60% කින් ඉහළ යාමට විරෝධය පා වීදි බසිත්දී බොහෝ විශ්ලේෂකයන් විත්තිකරු බවට පත්කළේ ජෛව ඉන්ධන නිෂ්පාදනයයි. ඇමරිකානු රජයේ සහනාධාරයන් නිසා බොහෝ ඇමරිකානු ගොවීන් තමන්ගේ බඩ ඉරිඟු වගාවන් එතනෝල් නිෂ්පාදනය සඳහා යෙදවීමට පෙළඹුනහ. ආහාර සඳහා යොදා ගැනීමට තිබූ බඩ ඉරිඟු ඉන්ධන සඳහා යෙදවීම ආහාර මිල ඉහළ යාමට බලපෑ එක් සාධකයකි. නමුත් බහුජාතික අතරමැදියන් විසින් සම්පේ‍්‍රක්ෂණය කරනු ලැබූ ජෛව ඉන්ධන පිළිබඳ ඉල්ලූම ඊටත් වඩා තීරණාත්මක කාර්යයක් ඉටු කළේය. නමුත් බොහෝ දෙනාට මග හැරුණු වැදගත් ප‍්‍රශ්නයක් ඉතිරිව තිබේ. බඩ ඉරිඟු ප‍්‍රධාන ආහාරයක් වූ මෙක්සිකෝවේ තමන්ගේ ඉඩම් මත ජීවත් වූ ජනතාවට ඇමරිකානු ආනයනයන් මත යැපීමට සිදුව තිබෙන්නේ ඇයි ?
මේ තත්වය තේරුම් ගැනීමට නම් බඩ ඉරිඟුවල මව්බිම වූ මෙක්සිකෝව බඩඉරිඟු ආනයනය කරන රටක් බවට පත් කරවන ලද, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා වොෂින්ටනය විසින් පනවනු ලැබූ, නිදහස් ආර්ථික ප‍්‍රතිපත්තිවල ඉතිහාසය තේරුම් ගැනීම වැදගත්ය. මේ ක‍්‍රියාවලිය ආරම්භ වන්නේ 1980 මුල ගණන්වල ඇති වන ණය අර්බුදයත් සමගය. සංවර්ධනය වෙමින් තිබෙන රටවල් අතරින් දෙවැනියට විශාලතම ණය ගැති රට වූ මෙක්සිකෝවට ජාත්‍යන්තර වාණිජ බැංකුවල ණය ගෙවීම සඳහා ලෝක බැංකුවෙන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් හිඟා කෑමට සිදුවිය. මේ මුදල් ලබා ගැනීමත් සමග ජාත්‍යන්තර ආයතනවල උපදෙස් පරිදි නව ලිබරල්වාදී තර්කය අනුව ආර්ථික ඵලදායීතාවය සඳහා ඇති බාධාවන් ලෙස හඳුනා ගත් තීරු බදු, රජයේ නීති සහ රජයට අයත් සහායක ආයතන ඉවත් කිරීමට සිදු විය.
1982 දී රජයේ සමස්ත වියදමෙන් 19% ක් වූ පොළි ගෙවීම් 1988 වන විට 57% දක්වා වැඩි විය. ප‍්‍රාග්ධන වියදම 19.3% සිට 4.4% දක්වා අඩු විය. රජයේ වියදම් අඩු කිරිම සඳහා රජය විසින් ලබා දෙන ණය කපා හැරීම්, කෘෂිකාර්මික යෙදවුම් සහනාධාර, අලෙවි සහායයන්, රජයේ අලෙවි මණ්ඩල හා ව්‍යාප්ති සේවාවන් අහෝසි කිරීමට සිදු විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව විසින් පටවනු ලැබූ නිදහස් වෙළෙඳ ප‍්‍රතිපත්ති හේතුවෙන් කුඩා ගොවීන් අනතුරට ලක් විය. 1994 දී ආරම්භ වූ ‘උතුරු ඇමෙරිකානු නිදහස් වෙළෙඳ ගිවිසුම (NAFTA)' ත් සමග සුළු ගොවීන්ගේ කෘෂිකර්මාන්තයට එල්ල වූ මෙම පහර තවත් දරුණු විය. නිදහස් වෙළෙඳ ගිවිසුමත් සමග අධික සහනාධාර යටතේ නිෂ්පාදනය කෙරෙන අඩු මිලැති ඇමරිකානු බඩ ඉරිඟු මෙක්සිකානු වෙළෙඳපොළ ආක‍්‍රමණය කරන ලද අතර දේශීය වෙළෙඳපොළේ බඩඉරිඟු මිළ අඩකින් අඩු කරන ලදී. මෙම ගිවිසුම නිසාම සම්පුර්ණයෙන්ම ආහාර ආනයනය කරන්නෙක් ලෙස මෙක්සිකෝවේ තත්වය තහවුරු විය.
බඩ ඉරිඟු වෙළෙඳාම සඳහා පැවති රජයේ වෙළෙඳ ආයතනය වසා දැමීමත් සමග ඇමරිකාවෙන් ආනයනය කරන ලද බඩ ඉරිඟු හා මෙක්සිකානු ධාන්‍ය බෙදා හැරීමේ සම්පූර්ණ අයිතිය කාර්ගිල් හා මැසේකා වැනි ඇමරිකානු සමාගම් කිහිපයක් අතට පත් විය. මේ නිසාම වෙළෙඳ ප‍්‍රවණතාවයන් සම්බන්ධයෙන් අනුමානය කිරීමේ අති විශාල බලයක් මෙම සමාගම් අතට ලැබි තිබේ. එමනිසාම ජෛව ඉන්ධන ඉල්ලූම සම්බන්ධ වෙනස්වීම් තමන්ට කැමති ආකාරයෙන් වැඩි කොට පෙන්වීමට ඔවුනට හැකිය. එමෙන්ම දේශීය වෙළෙඳපොළ මත පවතින ඒකාධිකාරය නිසාම ජාත්‍යන්තර වෙළෙඳපොළේ සිදු වන මිල ඉහළ යාම් දේශීය කුඩා ගොවීන්ට ලැබෙන මිලෙහි කිසිදු වෙනසකට දායක නොවන තත්වයක් උදා වී තිබේ.
මේ නිසාම සහල්, හරක් මස්, කුකුළු හා ඌරු මස් වැනි ක්ෂේත‍්‍රයන්හි කුඩා ගොවීන්ට නැෆ්ටා ගිවිසුම නිසා අත් වී තිබෙන ඉරණමින් මිදී සිටිමට බඩ ඉරිඟු ගොවීන්ට ද නොහැකි වී ඇත. 2003 වන විට ඇමරිකානු ආනයනික කෘෂිකාර්මික නිෂ්පාදන නිසා මෙක්සිකෝවේ සුළු ගොවීන් මිලියන 1.3 කට ජීවිකාවන් අහිමි වී තිබේ. ඔවුන් බොහෝ දෙනෙකුට තම ගම්බිම් අතහැර ඇමරිකාවේ කාර්මික නගරවලට සංක‍්‍රමණය වීමට සිදුව තිබේ.
අනාගතය සම්බන්ධ බලාපොරොත්තු ද එතරම් සුභදායක නොවේ. මෙක්සිකානු රජයේ බලය දිගින් දිගටම නව ලිබරල්වාදීන් අත පවතින බැවින් ඔවුන් කුඩා ගොවීන්ට සහාය දෙන ක‍්‍රියාවලීන් ක‍්‍රමාණුකූලව අඩපන කරනු ලබයි. Food First සංවිධානයේ විධායක අධ්‍යක්ෂක එරික් හෝල්ට් පවසන පරිදි ”කුඩා ගොවීන්ගේ හැකියාවන් නැවත ඇති කරලීම සඳහා කාලය හා උත්සාහය අවශ්‍ය වේ. මේ වන විටත් මේ සඳහා අවශ්‍ය වන දේශපාලන උත්සාහය දක්නට නැත. නැෆ්ටා ගිවිසුම පිළිබඳ සාකච්ඡාවන් නැවත ඇති වීමේ අනතුරට ද මුහුණ දීමට සිදු වී තිබේ.” පිලිපීනයේ සහල් අර්බුදයක් නිර්මාණය කිරිම ලෝක ආහාර අර්බුදය සඳහා කෘෂිකර්මයේ නිදහස් වෙළෙඳ ප‍්‍රතිපත්ති බලපෑ බවට ඔප්පු කිරීමට සහල් තරම් හොඳ උදාහරණයක් තවත් නැත. බඩ ඉරිඟු මෙන් නොව ජාත්‍යන්තර වශයෙන් වෙළෙඳාම් වන්නේ ලෝකයේ සහල් නිෂ්පාදනයෙන් 10% කටත් අඩු ප‍්‍රමාණයකි. තවද, ආහාර සඳහා නිෂ්පාදනය කෙරෙන සහල් ජෛව ඉන්ධන සඳහා යොදා ගැනීමේ ප‍්‍රවණතාවයක් ද දක්නට නොමැත. කෙසේ වෙතත්, මේ වසර තුළ පමණක් සහල් මිල තෙගුණයකින් වැඩි වී තිබේ. සහල් මිල ඉහළ යාමට ඉඩ ඇති බවට අනුමාන කළ ජාත්‍යන්තර තොග වෙළෙන්ඳන් සැපයුම සීමා කිරීම මේ සඳහා යම් තරමකට බලපෑ බව සත්‍යයකි. නමුත්, මෙක්සිකෝව හා බඩ ඉරිඟු පිළිබඳ ප‍්‍රශ්නයේ දී මෙන්ම ඉතිරිවන ප‍්‍රධානතම ගැටලූව නම් සහලින් ස්වයංපෝෂිතව තිබූ බොහෝ රටවල් ආනයනයන් මත යැපෙන තත්වයට පත් වූයේ කෙසේ ද යන්නයි.
රටක් ආහාර අපනයනකරුවෙකුගේ සිට ආනයනකරුවෙකු දක්වා පත් කිරීමට නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් බලපාන්නේ කෙසේ ද යන්න පිළිබඳ හොඳ උදාහරණයක් පිලිපීනය සපයයි. පිලිපීනය ලෝකයේ විශාලතම සහල් ආනයනකරුවාය. ජනතාවට කුමන හෝ මිලකට සහල් සැපයීමට මැනිලා රජය ගත් උත්සාහය පසුගිය කාලයේ ප‍්‍රධාන ප‍්‍රවෘත්තියක් විය. දුප්පත් ප‍්‍රජාවන් තුළ හමුදා ආරක්ෂාව යටතේ සහල් බෙදා හරින ඡායාරූප ලෝක ආහාර අර්බුදය පිළිබිඹු කරන ප‍්‍රධාන සංකේතයන් විය.
පිලිපීන කතන්දරයේ ආකෘතිය ද බොහෝ දුරට මෙක්සිකෝවට සමාන වේ. පිලිපීනයේ හිටපු අඥාදායක ෆර්නන්ඩෝ මාකෝස් බොහෝ අපරාධයන්ට හා අපචාරයන්ට වැරදිකරු විය. පොරොන්දු වූ ඉඩම් ප‍්‍රතිසංස්කරණයන් ක‍්‍රියාත්මක නොකිරීම ද එයට අයත්ය. නමුත්, කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ ඇද වැටීම සම්බන්ධයෙන් නම් ඔහුට දොස් නැගිය නොහැක. ඔහුගේ රජය කාලයේ දී ගොවීන්ට පොහොර හා බීජ සහනාධාර ලබා දුන් අතර ණය පහසුකම් ලබා දීම මෙන්ම ග‍්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය ද සිදු කෙරිනි. 1986 දී මාකෝස් රටින් පිටවන විට රජයේ ගබඩාවල සහල් මෙටි‍්‍රක් ටොන් 900,000 ක් තිබුනි.
නමුත් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයන් යටතේ ගෙවුනු ඊළඟ වසර කීපය තුළ රජයේ ආයෝජන හැකියාවන් ශීඝ‍්‍රයෙන් ක්ෂය වී යන අයුරු දක්නට ලැබුනි. මෙක්සිකෝවේ දී සිදු වූ පරිදිම ජාත්‍යන්තර ණයකරුවන් වෙනුවෙන් කටයුතු කරන ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 26 ක විදේශ ණය ගෙවීමට ප‍්‍රමුඛතාවය දෙන ලෙසට කොරසෝන් අකීනෝ පාලනයට බල කරන ලදී. 1986 සිට 1993 දක්වා කාලය තුළ දළ දේශීය නිශ්පාදනයෙන 8% ත් 10% ත් අතර ප‍්‍රමාණයක් ණය සේවා සැපයීම සඳහා වෙන් කෙරුණි. 1980 දී සමස්ත වියදමෙන් 7% ක් වූ පොලී ගෙවීම් 1994 වන විට 28% දක්වා වැඩි විය. ප‍්‍රාග්ධන වියදම් 26% සිට 16% දක්වා අඩු විය. කෙටියෙන් පවසතොත් ණය ගෙවීම් ජාතික අයවැය ප‍්‍රමුඛතාවයක් විය.
කෘෂිකර්මය සඳහා සිදු කරන ලද වියදම හරි අඩකින් අඩු විය. කෙසේ වෙතත්, ලෝක බැංකුව හා එහි දේශීය නියෝජිතයින් කලබල නොවීය. මක් නිසාද, රජයේ වියදම අඩු කිරීම මගින් පෞද්ගලික අංශය ග‍්‍රාමීය සංවර්ධනය වේගවත් කිරීම සඳහා ගෙන්වා ගැනීම එක් අරමුණක් වූ බැවිනි. නමුත් කෘෂිකාර්මික ධාරිතාවයන් වේගයෙන් ක්ෂය විය. වාරිමාර්ග අඩාල විය. 1990 වන විටත් පිලීපිනයේ පාරවල්වලින් තාර යොදා තිබුනේ 17% ක පමණි. මේ සංඛ්‍යාව තායිලන්තයේ 82% ක් හා මැලේසියාවේ 75% කි. ග‍්‍රාමීය නිෂ්පාදනය නැංවීම සඳහා රජය ක‍්‍රියාශීලීව දායක වූ චීනය, වියට්නාමය හා තායිලන්තය වැනි රටවල් හා සසඳා බලන විට සාමාන්‍ය අස්වැන්න ඉතාම පහළ මට්ටමක විය. මෙක්සිකෝවේ දී මෙන් පිලිපීනයේ කුඩා ගොවියා ද තමන්ට මෙතෙක් රජයෙන් ලැබුනු සියලූ සහන අහිමි වන තත්වයකට මුහුණ දුන්හ.
කෘෂිකාර්මික වැඩසටහන් කප්පාදුව සමගම පිවිසියේ නිදහස් වෙළෙඳාම. පිලිපීනය 1995 දී ලෝක වෙළෙඳ සංවිධානයට (WTO)සම්බන්ධ වීමත් සමග ඇතිවූයේ නැෆ්ටා ගිවිසුමෙන් මෙක්සිකෝවට ඇති වූ තත්වයමය. ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමත් සමග සහල් හැර අනිකුත් සියලූම කෘෂිකාර්මික ආනයනයන් සඳහා පනවා තිබූ කෝටාවන් ඉවත් කිරිමට පිලිපීනයට සිදු වූ අතර සෑම භාණ්ඩයකින්ම යම් ප‍්‍රමාණයක් අඩු තීරු බදු යටතේ ගෙන්වීමට ඉඩ දීමට සිදු විය. සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කෝටාව දිගටම පවත්වාගෙන යාමට ඉඩ දුන් නමුදු දේශීය නිෂ්පාදනයෙන් 1% ත් 4% අතර ප‍්‍රමාණයක් ආනයනය කිරීමට ඉඩ දීමට සිදු විය. ඇත්ත වශයෙන්ම, රජයේ සහාය අහිමි වීම නිසා අඩාල වුනු දේශීය කෘෂිකර්මාන්තය හේතුවෙන් රටේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට එම ප‍්‍රමාණයට වඩා බොහෝ වැඩියෙන් ආනයනය කිරීමට රජයට සිදු විය. මේ දැවැන්ත ආනයනය නිසා සිදුවූ සහල් මිල පහත යාම ගොවීන් අධෛර්යයට පත් කිරිමට හේතු වූ අතර රටේ නිෂ්පාදන වර්ධනය එහි ප‍්‍රධානතම සැපයුම්කරුවන් දෙදෙනා වන තායිලන්තයට හා වියට්නාමයට වඩා බොහෝ අඩු විය. පිලිපීනය ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජිකත්වය ලැබීමෙන් ඇති වූ ප‍්‍රතිඵල කුණාටුවක් මෙන් අනෙකුත් කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයන්ට ද ව්‍යාප්ත විය. අඩු මිලැති ආනයනික බඩ ඉරිඟු හේතුවෙන් බඩ ඉරිඟු වගා බිම් ප‍්‍රමාණය 1993 දී හෙක්ටයාර මිලියන 3.1 සිට 2000 වන විට මිලියන 2.5 දක්වා අඩුවිය. ආනයනික කුකුළු මස් නිසා දේශීය කුකුළු මස් කර්මාන්තය ඇද වැටෙන තත්වයට පත් විය. ඌරු මස් හා එළවලූ කර්මාන්තයට සිදු වූයේ ද එයමය.
1994 දී ලෝක වෙළෙඳ සංවිධාන සාමාජිකත්වය ලබා ගැනීමට පෙර ලෝක බැංකුව විසින් මෙහෙයවනු ලබන රජයේ ආර්ථික විශේෂඥයින් පොරොන්දු වූයේ බඩ ඉරිඟු හා අනෙකුත් සාම්ප‍්‍රදායික වගාවන්ට සිදුවන පාඩුව අපනයනය ඉලක්ක කර ගත් මල්, රට හාතාවාරිය, රතු ගෝවා වැනි ‘අගය එකතු කරන ලද’ බෝග වගාවන්ගෙන් පිරිමසා ගත හැකි බවයි. මෙම පොරොන්දු බොහොමයක් ඉටු නොවුනු අතර වෙළෙඳපොළ මහිමයෙන් වසරකට අලූතෙන් ඇති වේයැයි අපේක්ෂා කළ රැකියා 500,000 ද ඇති වූයේ නැත. ඒවෙනුවට 1994 දී මිලියන 11.2 ක් වූ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ රැකියා 2001 වන විට මිලියන 10.8 දක්වා අඩු විය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පනවන ලද ව්‍යුහාත්මක ගැලපුම් හා ලෝක වෙළෙඳ සංවිධානයේ නිදහස් වෙළෙඳාම විසින් ප‍්‍රධාන වශයෙන් ස්වයංපෝෂිත කෘෂිකාර්මික ආර්ථිකයක් ආනයනයන් මත යැපෙන ආර්ථිකයක් බවට පත් කරන ලදී. මෙය මහා බලහත්කාරයකි. ලෝක වෙළෙඳ සංවිධාන සාකච්ඡාවලට සහභාගි වූ පිලිපීන රජයේ නියෝජිතවරයාම පවසන පරිදි ”ජාත්‍යන්තර වෙළෙඳ සාකච්ඡා තුළ සිදුවන අසාධාරණයන් මගින් අපගේ කුඩා නිෂ්පාදකයා සම්පූර්ණයෙන් විනාශ කර දමනු ලැබේ”.
මහා පරිවර්තනය මෙක්සිකෝවේ හා පිලිපීනයේ අත්දැකීම තවත් රටවල් බොහෝ ගණනකට පොදුය. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් රටවල් 14 ක සිදු කරන ලද සමීක්ෂණයකින් පෙනී ගියේ එම රටවල 1990 -1994 කාලසීමාවට වඩා 1995 -1998 කාල සීමාව තුළ දී ආහාර ආනයනයන් වැඩි වී තිබුනු බවයි. මෙය පුදුමයක් නොවේ. ලෝක වෙළෙඳ සංවිධානයේ ‘කෘෂිකර්මය පිළිබඳ ගිවිසුමේ (Agreement on Agriculture - AoA)’ ප‍්‍රධානතම අරමුණ වූයේ සංවර්ධිත රටවල අතිරික්ත නිෂ්පාදනයන් විකිණිය හැකි වන පරිදි සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳපොළවල් විවෘත කරවීමයි. එවකට ඇමෙරිකානු කෘෂිකර්ම ලේකම් ජෝන් බ්ලොක් 1986 දී ප‍්‍රකාශ කළ පරිදි ”සංවර්ධනය වෙමින් පවතින රටවල් තමන්ගේ ආහාර තමන් විසින්ම සපයා ගැනීම යල් පැන ගිය අදහසකි. ඒ වෙනුවට තමන්ගේ ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ලෝකය පුරාම අඩු මිලට ඇති ඇමෙරිකානු කෘෂි නිෂ්පාදන මත විශ්වාසය තැබීම වඩා උචිත වේ.”
බ්ලොක් නොපැවසූයේ ඇමෙරිකාවට මෙසේ අඩු මිලට කෘෂිකාර්මික නිෂ්පාදන සැපයිය හැක්කේ අති දැවැන්ත සහනාධාර නිසා බවයි. ලෝක වෙළෙඳ සංවිධානයේ ගිවිසුම් මගින් මේ සහනාධාර ක‍්‍රමයෙන් ඉවත් කිරීමට යෝජිත මුත් ඒවා වසරින් වසර වඩ වඩාත් විශාල වෙයි. 1995 දී ඩොලර් බිලියන 367 ක් වූ සංවර්ධිත රටවල කෘෂි සහනාධාර 2004 වන විට ඩොලර් බිලියන 388 දක්වා වැඩි විය. 1990 අග භාගයෙන් පසුව මෙම සහනාධාර යුරෝපයේ සමස්ත කෘෂි නිෂ්පාදනයෙන් 40% ත් ඇමෙරිකාවේ කෘෂි නිෂ්පාදනයෙන් 25% කටත් සමාන විය.
බැලූ බැල්මට නිදහස් වෙළෙඳාමේ නියෝජිතයින් හා සංවර්ධිත රටවල අතිරික්ත ආහාර සංවර්ධනය වෙමින් පවතින රටවලට පැටවීමේ ක‍්‍රියාවලිය (dumping) ආරක්ෂා කරන්නන් අන්ත දෙකක සිටින්නවුන් ලෙස පෙනෙනු ඇත. නමුත් ඔවුන් විසින් උපදෙස් දෙනු ලබන ප‍්‍රතිපත්තීන් නිසා ඇති වන්නේ එකම ප‍්‍රතිඵලයකි. එය ගෝලීයකරණය වූ ධනවාදී කාර්මික කෘෂිකර්මාන්තයයි. තායි බහුජාතික සමාගමක් වන CP වැනි සමාගම්වලට අයත් මහා පරිමාණ කාර්මික ගොවිපළ විසින් පාලනය කරනු ලබන අපනයනය මුල් කොට ගත් මස් හා ධාන්‍ය නිෂ්පාදනයත්, මොන්සැන්ටෝ වැනි සමාගම්වල නිරන්තරයෙන් දියුණු වන ජාන තාක්ෂණයත් සහිත ක‍්‍රියාවලියකට සංවර්ධනය වෙමින් පවතින රටවල් ගැටගසා තිබේ. තීරු බදු හා බදු නොවන බාධාවන් ඉවත් කිරිම හරහා කාර්ගිල් හා ආර්චර් ඩැනියෙල්ස් මිඞ්ලන්ඞ් වැනි ධාන්‍ය සමාගම් ද, ටෙස්කෝ හා කෙයාර්ෆෝ වැනි බහුජාතික ආහාර වෙළෙන්ඳන් ද මෙහෙයවන ප‍්‍රභූ හා මධ්‍යම පාන්තිකයින් සඳහා වූ සුපිරි වෙළෙඳපොළකට ඉඩ සලසා ඇත.
මේ ඒකාබද්ධ ලෝක වෙළෙඳපොළ තුළ මිලියන සිය ගණනක් වූ ග‍්‍රාමීය හා නාගරික දුප්පතුන්ට ඉඩක් නැත. ඔවුනට බොහෝ විට නාගරික මුඩුක්කුවල නැතිනම් සීමාසහිත කෘෂිකාර්මික ක‍්‍රියාකාරිත්වයක් සහිත ග‍්‍රාමීය රක්ෂිතයන් තුළ ජීවත්වීමට ඔවුනට සිදුව තිබේ. එකම රට තුළ ගෝලීයකරණයෙන් ඉවතට විසි වූ ප‍්‍රජාවන් තුළ සාගතයත්, එයින් ප‍්‍රයෝජන ලබන්නවුන් අතර සෞභාග්‍යයත් දැකීමට තිබීම සුලභ දසුනකි.
මෙය ජාතික ආහාර ස්වයංපෝෂිතභාවය හෝ ආහාර සුරක්ෂිතභාවය නැතිවීම පමණක් නොවේ. ඔක්ස්ෆර්ඞ් විශ්ව විiාලයේ ඩෙබෝරා බ‍්‍රයිසන් පවසන පරිදි මෙය ”සුළු ගොවීන් මුල් වූ ගොවිතැන සම්පූර්ණයෙන් නැති කර දැමීමකි.” තීව‍්‍ර ප‍්‍රාග්ධන ඒකරාශී කිරීමක් සඳහා වඩා හිතකර ප‍්‍රදේශයක් බවට ග‍්‍රාමීය ප‍්‍රදේශ පත් කිරීම සඳහා එක් නිෂ්පාදන මාදිලියක් සම්පූර්ණයෙන් ඉවත් කර දැමීමකි. මෙය මිලියන සිය ගණනකට ඛේදජනක පරිවර්තනයකි. මක් නිසාද, සුළු පරිමාණ නිෂ්පාදනය යනු තවත් එක් ආර්ථික ක‍්‍රියාවලියක්ම පමණක් නොවන බැවිනි. එය ඓතිහාසික ජීවන ක‍්‍රමයකි, සංස්කෘතියකි. තමන්ගේ ජීවිකාවන් අහිමි වූ ඉන්දීය ගොවීන් සියදිවි නසා ගැනීමට එක් හේතුවකි මෙය. අන්ද්‍රා ප‍්‍රදේශ්හි 1998 දී 233 ක් වූ ගොවි සිය දිවි නසා ගැනීම් 2002 වන විට 2,600 දක්වා වැඩි වී තිබුනි. මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ 1995 දී 1083 ක් වූ ගොවි සිය දිවි නසා ගැනීම් 2005 වන විට 3926 දක්වා තුන් ගුණයකින් වැඩි වී තිබුනි. ඇස්තමේන්තු කරන පරිදි මේ කාලය තුළ ඉන්දියානු ඉන්දියානු ගොවීන් 150,000 ක් දෙනා සියදිවි නසා ගෙන තිබුනි. ගෝලීය සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන සමාජ ක‍්‍රියාකාරිනී වන්දනා ශිවා පවසන පරිදි නිදහස් වෙළෙඳාම නිසා ගොවින්ගේ නිෂ්පාදනවල මිල පහළ යාම හා ජෛව තාක්ෂණික සමාගම් අතට බීජවල අයිතිය පත්වීම මේ සංකීර්ණ ගැටලූවේ එක් කොටසකි. ”ගෝලීයකරණය තුළ ගොවීන්ට නිෂ්පාදකයෙකු ලෙස තිබූ සමාජීය, සංස්කෘතික හා ආර්ථික අනන්‍යතාවය නැති වී යයි. ගොවියා තවදුරටත් මිල අධික බීජ හා රසායනික ද්‍රව්‍ය සමගාම්වල පාරිභෝගිකයෙකු පමණි.
අප‍්‍රිකානු කෘෂිකර්මය: යටත්වීමේ සිට එරෙහි වීම දක්වා ලතින් ඇමරිකාව හා ආසියාව තුළ අපි දකින්නේ සුළු ගොවීන් නැති කර දැමීමේ ක‍්‍රියාවලියේ දියුණු අවස්ථාවකි. ලෝක බැංකුවට ඉඩ ලැබුනේ නම් අප‍්‍රිකාව ද ගමන් ගනු ඇත්තේ මෙම මාර්ගයේ ය. ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද ‘ලෝක සංවර්ධන වාර්තාව 2008’ අප‍්‍රිකාවේ කුඩා ගොවින්ගේ ගොවිතැන මහා පරිමාණ කාර්මික කෘෂිකර්මාන්තයක් බවට පත් කිරීමේ සැලසුමකි. නමුත් වාසනාවකට තව දුරටත් ලෝක බැංකුවේ යෝජනා නිහඬව පිළි ගැනීමට බොහෝ රටවල් සූදානම් නැත.
1960 දශකයේ බොහෝ අප‍්‍රිකානු රටවල් යටත් විජිතවාදයෙන් නිදහස ලබද්දී අප‍්‍රිකාව ආහාර අපනයනකරුවෙකි. අද වන විට මුළු මහාද්වීපයම තමන්ගේ ආහාර අවශ්‍යතාවයෙන් 25% ක් ආනයනය කරන අතර සෑම රටක්ම පාහේ ආහාර ආනයනකරුවෙකි. බඩගින්න හා සාගතයන් නිරන්තර සිදු වීම් වන අතර පසුගිය වසර තුන තුළ දී පමණක් අප‍්‍රිකාවේ බොහෝ ප‍්‍රදේශවලින් ආහාර අර්බුද මතු විය.
අප‍්‍රිකාවේ කෘෂිකර්මාන්තය දරුණු අර්බුදයක පවතී. යුද්ධවල සිට දූෂිත පාලනයන්, කෘෂිකාර්මික තාක්ෂණයේ අඩුපාඩු, හා ඒඞ්ස් රෝගය ව්‍යාප්ත වීම දක්වා විවිධ හේතු මේ සඳහා බලපා ඇත. කෙසේ වෙතත්, මෙක්සිකෝවේ හා පිලිපීනයේ සිදු වූ පරිදිම බාහිර ණය සේවා සැපයීමට ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවනු ලැබූ ව්‍යුහාත්මක ගැලපුම් වැඩසටහන්වල ප‍්‍රතිඵලයක් ලෙස කෘෂිකර්මයට මැදිහත්වීමෙන් හා සේවා සැපයීමෙන් රජය ඉවත්වීම මෙයට ප‍්‍රධාන හේතුවයි.
ව්‍යුහාත්මක ගැලපුම් වැඩසටහන් නිසා ආයෝජනයන් අඩුවේ, රැකියා විරහිතභාවය වැඩිවේ, සමාජ ආරක්ෂණ වියදම් අඩුවේ, පරිභෝජනය අඩුවේ, නිෂ්පාදනය ද අඩුවේ. පොහොර සඳහා පනවා තිබූ මිල පාලනයන් ඉවත් කිරීම සමග රජයේ ණය පහසුකම් ද කපා හැරීම නිසා දුප්පත් ගොවීන්ට තව දුරටත් ගොවිතැන් කර ගත නොහැකි තත්වයකට පත්විය. තවද, රජයේ ඉවත්වීම නිසා කෘෂිකර්මාන්තය වඩාත් ජව සම්පන්න කිරීමට වෙළෙඳපොළට හැකිවනු ඇතැයි යන න්‍යාය යථාර්ථයේ දී අසත්‍ය විය. රජයේ ඉවත්වීම යනු වැඩි අවදානමක් නිර්මාණය කිරීමක් යැයි නිවැරදිව දුටු පෞද්ගලික අංශය කෘෂිකර්ම ක්ෂේත‍්‍රයට පිවිසීමට උනන්දු නොවීය. සෑම රටකම රජයේ ඉවත්වීම පෞද්ගලික අංශය සහභාගිත්වය වැඩි කිරීමට නොව අඩු කිරීමට හේතු විය. පෞද්ගලික වෙළෙන්ඳන් රජයට ආදේශකයන් වූ අවස්ථාවලදීත් බොහෝ විට ගොවීනට ඉතා අහිතකර තත්වයන් උදා විය. ගොවීන් වඩ වඩාත් ආහාර අනාරක්ෂිතභාවයට පත් වූ අතර රජයන්ට විශ්වාසය තැබිය නොහැකි ජාත්‍යන්තර ආධාර මත යැපීමට සිදු විය. පෞද්ගලික අංශයට සහාය දක්වන ආර්ථික විද්‍යාඥයින් පවා පිළිගන්නා කාරණයක් නම් රජයේ කාර්යයට ආදේශකයක් ලෙස පැමිණි සමාගම් බොහෝ විට වෙළෙඳපොළ ඒකාධිකාරයන් තනා ගැනීමට පමණක් උත්සාහ කළ බවයි.
රජය විසින් සැපයූ සහාය පවා බොහෝ විට යොමු වූයේ අපනයනය ඉලක්ක කර ගත් කෘෂිකාර්මික සංවර්ධනයටයි. ලෝක බැංකුව රජයයන් මේ දිශාවට යොමු කළේ ණය සේවාවන් සැපයීම සඳහා අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමටයි. නමුත් 1980 ගණන්වල ඉතියෝපියාවේ ඇති වූ සාගතයේ දී සිදු වූවාක් මෙන් මේ මගින් සිදු වූයේ සරු ඉඩම් සියල්ල අපනයන බෝග සඳහා වෙන් වී ආහාර බෝග වගාවට නිසරු ඉඩම් පමණක් ඉතිරි වීමයි. මෙය ආහාර අනාරක්ෂිත බව උග‍්‍ර කළේය. තවද, ලෝක බැංකුවේ උපදෙස් මත බොහෝ රටවල් එකම අපනයන බෝගයක් වගා කිරිම නිසා අධි නිෂ්පාදනයක් සිදු වී ජාත්‍යන්තර වෙළෙඳපොළ මිල අස්ථාවර වීම ද සිදු වේ. උදාහරණයක් ලෙස ඉතා සාර්ථක ලෙස ඝානාවේ ව්‍යාප්ත කෙරුණු කොකෝවා වගාව නිසා 1986 සිට 1989 දක්වා කාලය තුළ ලෝක වෙළෙඳපොළේ කොකෝවා මිල 48% කින් අඩුවිය. 2002-03 කාලය තුළ සිදු වූ කෝපි මිල යාම නිසා ඉතියෝපියාවට නැවත වරක් සාගතයකට මුහුණ දීමට සිදු විය. මෙක්සිකෝවේ හෝ පිලිපීනයේ ව්‍යුහාත්මක ගැලපුම් වැඩසටහන් යනු රජය ප‍්‍රමාණවත් පරිදි ආයෝජනය නොකිරීම වන මුත් අප‍්‍රිකාවේ දී එය රජය තිබෙන පහසුකම් ද ඉවත් කිරීම වේ. අප‍්‍රිකානු රටවල් තමන්ගේ කෘෂි සහනාධාර නවත්වන්නේ කුමන කාල සීමාවේ දී ද, රජයේ සේවකයන් කී දෙනෙකු ඉවත් කළ යුතු ද, යන්න පමණක් නොව මලාවි රටේ අත්දැකීමේ දී මෙන් රටේ ධාන්‍ය සංචිතවලින් කොපමණ ප‍්‍රමාණයක් කා හට විකිණිය යුතු ද යන්න පවා තීරණය කිරීමට ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් වූහ.
ඇමරිකා එක්සත් ජනපදයේ හා යුරෝපා සංගමයේ අසාධාරණ වෙළෙඳ ප‍්‍රතිපත්ති ව්‍යුහාත්මක ගැලපුම් නිසා ඇති වූ හානිකර බලපෑම තවත් උග‍්‍ර කරවනු ලැබ තිබේ. වෙළෙඳපොළ නිදහස්කරණයන් සමග පැමිණි යුරෝපා සංගමයේ සහනාධාර ලැබූ හරක් මස් නිසා බොහෝ බටහිර හා දකුණු අප‍්‍රිකානු රටවල ගව පාලනයේ නිරතවූවන්ගේ ජීවිකාවන් විනාශ විය. ලෝක වෙළෙඳ සංවිධානය විසින් අනුමත කරනු ලැබූ සහනාධාර සහිතව නිෂ්පාදනය වූ ඇමරිකානු කපු අස්වැන්න නිෂ්පාදන මිලෙන් 20% ත් 55% ත් අතර මිලකට වෙළෙඳපොළට පිවිසි අතර ඒ මගින් බටහිර හා මධ්‍යම අප‍්‍රිකානු ගොවීන් සම්පූර්ණයෙන් බංකොලොත්භාවයට පත් විය.
ඔක්ස්ෆෑම් සංවිධානය ප‍්‍රකාශ කරන පරිදි 1981 සිට 2001 දක්වා කාලය තුළ අප‍්‍රිකානු මහද්වීපය තුළ දිනකට ඩොලර් 1 කට අඩු ආදායමක් ලබන ජනගහනය මිලියන 313 ක් දක්වා තුන් ගුණයකින් වැඩි වී තිබේ. මෙය කලාපයේ සමස්ත ජනගහනයෙන් 46% කි. දුප්පත්කම ඇති කිරීම සම්බන්ධයෙන් ව්‍යුහාත්මක ගැලපුම් වැඩසටහන්වල දායකත්වය ප‍්‍රතික්ෂේප කළ නොහැක. ලෝක බැංකුවේ ප‍්‍රධාන ආර්ථික විද්‍යාඥයාම පිළිගන්නා පරිදි ”මෙම වැඩසටහන්වල මානුෂීය හානිය මේ තරම් බරපතළ බවත්, ආර්ථික වාසි ලැබීම මෙතරම් මන්දගාමී බවත් අප සිතුවේ නැත.”
1999 දී මලාවි රජය සෑම කුඩා ගොවියෙකුටම නොමිලයේ පොහොර හා බීජ පැකැට්ටුවක් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කළේය. ප‍්‍රතිඵලය වූයේ රටේ බඩ ඉරිඟු අතිරික්තයක් ඇති වීමයි. ඉන්පසුව සිදු වූ කථාව නව ලිබරල්වාදයේ පොට වරද්දා ගැනීම සම්බන්ධ හොඳම උදාහරණයකි. මෙම සහනාධාරය වෙළෙඳාමට බාධා වන බව පවසමින් මෙම වැඩසටහන ක‍්‍රමයෙන් කප්පාදු කරමින් නවතා දැමීමට ලෝක බැංකුව හා අනෙකුත් ආධාරකරුවන් රජයට බලපෑම් කළහ. සහනාධාරය නොමැතිව අස්වැන්න පහළ වැටුනි. මේ අතරම තමන්ගේ වාණිජ ණය ගෙවා දැමීම සඳහා රටේ ධාන්‍ය සංචිත විකුණා දමන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට බල කළේය. 2001-02 කාලයේ ඇති වූ ආහාර අර්බුදය සාගතයක් බවට පත් වෙද්දි රට සතුව කිසිදු ආරක්ෂිත ධාන්‍ය තොගයක් තිබුනේ නැති තරම්ය. 1500කට ආසන්න පිරිසක් මිය ගියහ. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කිසිදු පසු තැවීමක් තිබුනේ නැත. ඒ වෙනුවට රජය විසින් කෘෂිකාර්මික හා ආහාර ක්ෂේත‍්‍රයන්ට සිදු කරන වියදම නිසා වඩා ඵලදායී ක්ෂේත‍්‍රයන් සඳහා මුදල් යෙදවීම අඩු කිරිමට සිදුව ඇතැයි පවසමින් තමන්ගේ ආධාර අඩු කිරිමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කළේය.
2005 නැවත වරක් ආහාර අර්බුදයක් උත්සන්න වන විට මලාවි රජයට ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෝඩකම් ඇති වී තිබුනි. නව ජනාධිපතිවරයා නැවත වරක් පොහොර සහනාධාරය ලබා දුනි. වෙළෙඳපොලේ මිලෙන් 1/3 ක මිලට පොහොරත්, අඩු මිලට බීජත් ලබා ගැනීමට පවුල් මිලියන 2 කට අවස්ථාව ලබා දුනි. ප‍්‍රතිඵලය වූයේ වසර දෙකක් පුරා දැවැන්ත අස්වැන්නක් ලැබීමයි. ඉරිඟු ටොන් මිලියනයක අතිරික්තයක් නිෂ්පාදනය වූ අතර රට මධ්‍යම අප‍්‍රිකාවටම බඩ ඉරිඟු සපයන්නෙකු බවට පත් විය.
මලාවි රජයේ මේ ක‍්‍රියාව අද වීර ක‍්‍රියාවක් වූවාට දැනට දශකයකට පමණ පෙර එය නිශ්ඵල විරෝධතාවක් වන්නට ඉඩ තිබුනි. ව්‍යුහාත්මක ගැලපුම් වැඩසටහන් අප‍්‍රිකාව පුරාම අපකීර්තියට ලක්ව ඇති හෙයින් අද වටපිටාව එදාට වඩා වෙනස්ය. ලෝක බැංකුව සමග කටයුතු කළ ඇතැම් ආධාරක රටවල් හා රාජ්‍ය නොවන සංවිධාන දැන් එයින් ඈත් වීමට පටන් ගෙන තිබේ. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා බටහිර රටවල ආධාර වෙනුවට විකල්පයක් ලෙස චීන ආධාර මතුවෙමින් පවතින වේලාවක අසාර්ථක වූ ක‍්‍රියාවලියක හා ප‍්‍රතික්ෂේපිත ආයතන සමග සම්බන්ධ වී සිටීමෙන් කලාපය කෙරෙහි තමන්ගේ බලපෑම තවත් අඩු කර ගැනිමට ඔවුන් කැමති නැතුවා වන්නට පුළුවන.
ආහාර ස්වෛරීභාවය: විකල්ප සුසමයාදර්ශයක් ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැවැත්මට තර්ජන එල්ල වී ඇත්තේ මලාවි වැනි රජයයන්ගෙන් එල්ල වන විරෝධතාවයන් හා තමන්ගේ පෙර හවුල්කරුවන්ගේ පිටුපෑම් නිසා පමණක් නොවේ. කාර්මික කෘෂිකර්මාන්තයේ ගෝලීයකරණයට එරෙහි ලෝකය පුරා සිටින කුඩා ගොවීන්ගේ සංවිධානවල විරෝධතාවයන් වඩ වඩාත් ප‍්‍රබල වීමට පටන් ගෙන තිබේ.
මෙම ගොවි සංවිධානවල බලපෑම නිසාම තමන්ගේ කෘෂිකාර්මික වෙළෙඳපොළවලට වඩා වැඩි ප‍්‍රවේශයක් ලබා දීම ප‍්‍රතික්ෂේප කිරීමටත්, ඇමෙරිකා එක්සත් ජනපදයේ හා යුරෝපා සංගමයේ කෘෂිකාර්මික සහනාධාර කප්පාදු කරන ලෙසත් ඉල්ලා සිටිමට දකුණේ රජයයන් පියවර ගනිමින් සිටි. ලෝක වෙළෙඳ සංවිධානයේ දෝහා සාකච්ඡා වටය අතරමග ඇන හිටීමට හේතු වී ඇත්තේ ද මෙම ඉල්ලීම්ය.
ගොවි සංවිධාන මේ වන විට ජාත්‍යන්තර වශයෙන් සංවිධානය වී සිටිති. වියා කම්පසිනා යනු මෙවැනි එක් ප‍්‍රබල ජාත්‍යන්තර ගොවි ව්‍යාපාරයකි. වියා කම්පසිනාවල ඉල්ලීම් ‘කෘෂිකර්මාන්තයෙන් ලෝක වෙළෙද සංවිධානය ඉවතට’ යන්නෙන් නොනවතී. එය සමස්ත ගෝලීයකරණය වූ ධනවාදී කාර්මික කෘෂිකර්මාන්තයටම විරුද්ධ වේ. ඔවුන් විකල්පයන් ද ඉදිරිපත් කරයි. එය ආහාර ස්වෛරීභාවයයි. ආහාර ස්වෛරීභාවය යනු ප‍්‍රථමයෙන් රටකට තමන්ගේ ආහාර නිෂ්පාදනය හා පරිභෝජනය සම්බන්ධයෙන් තීරණය කිරීමේ අයිතියයි. ලෝක වෙළෙඳ සංවිධානය වැනි ලෝක වෙළෙඳ අධිකාරින්ගෙන් කෘෂිකර්මාන්තය ඉවත් කොට තැබීමයි. මිල අඩු ආනයනයන්ගෙන් දේශීය වෙළෙඳපොල ආරක්ෂා කිරීම, ගොවීන්ට හා ධීවරයින්ට ලාබදායි මිලක් ලබා දීම, සියලූම සෘජු හා වක‍්‍ර අපනයන සහනාධාරයන් අහෝසි කිරිම සහ චිරස්ථායී නොවන කෘෂිකර්මාන්තයක් දේශීය සහනාධාරයන් ක‍්‍රමයෙන් අඩු කිරීම මගින් කුඩා ගොවීන් මුල් කර ගත් කෘෂිකර්මාන්තයක් නැවත ගොඩ නැගීම වෙනුවෙන් ඔවුහු පෙනී සිටිති. බීජවල පේටන්ට් අයිතිය සමාගම්වලට ලබා දෙන ටි‍්‍රප්ස් ගිවිසුම අහෝසි කිරිම, ජාන තාක්ෂණය මත පදනම් වූ කෘෂිකර්මාන්තයට විරුද්ධ වීම හා ඉඩම් ප‍්‍රතිසංස්කරණයන් වෙනුවෙන් සටන් කිරීම වියා කම්පසිනා හි පදනමයි.
වරෙක ප‍්‍රාග් කාර්මික යුගයේ නටබුන් ලෙස හැඳින්වූ ගොවියන් තමන්ව ඉතිහාසයේ කුණු කූඩයට ඇද දැමීමට සූදානම් වූ ධනවාදී කාර්මික කෘෂිකර්මාන්තයට එරෙහි සටනේ පුරෝගාමීන් බවට පත්වී ඇත. ඔවුන් කාල් මාක්ස්ගේ අනුමානයන්ට ප‍්‍රතිවිරුද්ධව ඔහු විසින්ම විස්තර කළ පරිදි දේශපාලන වශයෙන් සංවේදී පංතියක් බවට පත්ව තිබේ. ලෝක ආහාර අර්බුදය සමග ඔවුන් කේන්ද්‍රස්ථානයට පැමිණ තිබේ. ඔවුනට පාර්ශවකරුවන් හා සහයෝගය දක්වන්නන්ද බොහොමයකි. කුඩා ගොවීන් තමන්ට නියම කරනු ලැබූ ඉරණමට යටත්ව අහෝසි වී යාමට එරෙහිව සටන් කිරීම ආරම්භ කිරීමත් සමග ධනවාදී කෘෂිකර්මාන්තයේ නපුරු සිහිනය ලොවට එළි වීමට පටන් ගෙන තිබේ. පාරිසරික අර්බුදයන් වැඩි වත්ම, නාගරික - කාර්මික දිවි පෙවෙතේ සමාජීය අර්බුද උත්සන්න වද්දී හා ආහාර අර්බුදයන් නිර්මාණය වද්දි ගොවි සංවිධානවල අදාලත්වය කුඩා ගොවීන්ට පමණක් නොව ලෝක ධනවාදයෙන් විපතට පත් සියලූ දෙනාට වැඩි වැඩියෙන් දැනෙමින් පවතී.
2008 ජූනි 2 දින ද ගාර්ඩියන් පුවත්පතේ පළ වූ ලිපියකි
මෙහි මුල් ලිපිය

Reblog this post [with Zemanta]


0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Favorites More