Friday, July 10, 2009

මහවැලි අධිකාරියේ මල්වානේගම ගොවිපළ අක්‌කරය රු.575 බැගින් සමාගමකට බදු දීලා - අනුර කුමාර දිසානායක

අජිත් අලහකෝන් - ලසිත දුමින්ද (දිවයින - 2009 ජුලි 10)

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතුව පැවැති අක්‌කර 175 ක තලාව මල්වානේගම ගොවිපළ අක්‌කරය රු.575 බැගින් වූ මුදලකට පෞද්ගලික සමාගමකට බදු දී ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඉතා ඉහළ වටිනාකමක්‌ සහිත මෙම ගොවිපළේ සරුසාර කුඹුරු ඉඩම් අක්‌කරයක්‌ මෙතරම් අඩු වටිනාකමකට ලබා දීම පිළිබඳව යළි සලකා බැලිය යුතු බවද, ඉඩමට අමතරව එහි ඇති ගොඩනැඟිලි හා යන්ත්‍ර සූත්‍රද අදාළ සමාගමට ලබා දී ඇතැයි ද කී දිසානායක මහතා මෙම ගොවිපළ යළි රජයට පවරා ගන්නැයි ඉල්ලා සිටියේය.

1992 වසරේ අත්සන් කර ඇති මෙම ගිවිසුමේ ඇති කරුණුවලට රජය එකඟ වන්නේ නැතැයි කී කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා වර්තමාන තත්ත්වය අනුව ගතහැකි නීතිමය ක්‍රියා මාර්ග ගත හැකි නම් ඒ කටයුත්ත කරන බවද කීය.

මෙම ගොවිපළ බදු දී ඇත්තේ සියයට දහයක්‌ වාර්ෂිකව වැඩිවන ආකාරයට රුපියල් ලක්‍ෂයක මුදලකට බවද කී ඇමැතිවරයා 2007 වසර දක්‌වා මෙම ගොවිපළෙන් බදු මුදල් වශයෙන් රුපියල් පනස්‌ නව ලක්‍ෂ අනූතුන්දහස්‌ හත්සිය හතළිස්‌ දෙකක්‌ ලැබී ඇතැයි ද කීය.

2002 වසරේදී මෙම ගොවිපළේ වටිනාකම රුපියල් කෝටි 1200 ක්‌ ලෙස තක්‌සේරු කර තිබූ බවද කී ඇමැතිවරයා මෙම ගොවිපළේ ඇති ගොඩනැඟිලිවල වටිනාකම රුපියල් කෝටියක්‌ වශයෙන් තක්‌සේරු කර ඇතැයි ද කීය.


0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Favorites More