(දිවයින, 2009 ජුලි 07)
ශ්‍රී ලංකාවේ පරිසරය සුරක්‍ෂිත කිරීම සඳහා පවතින විශාල ප්‍රමාණයක් වූ නීතිරීති මගින් පරිසරයේ ආරක්‍ෂාව වෙනුවෙන් විවිධ පියවරයන් රාශියක් ගෙන තිබේ. එA අතර සමහර ශාක හෝ සතුන් අපනයනය හෝ ආනයනය තහනම් කිරීම, නැතහොත් ආනයනය හෝ අපනයනය සීමා කිරීම, සමහර ශාක හෝ සතුන් මෙන්ම උන්ගේ වාසස්‌ථාන විනාශ කිරීම තහනම් කිරීම, තවත් සමහර සතුන් හෝ සත්ව කොටස් ළඟ තබාගැනීමට බලපත්‍ර නිකුත් කිරීම, ජෛව විවිධත්වයෙන් ඉහළ වටිනාකමක් සහිත ප්‍රදේශ ආරක්‍ෂිත ප්‍රදේශ ලෙස නම් කිරීම මෙම පියවරයන් අතරින් ප්‍රධාන වේ. විශේෂයෙන් මෙවැනි ආරක්‍ෂිත ප්‍රදේශ නම් කිරීම මෙරට දැනට ක්‍රියාත්මක වන පනත් කිහිපයක් මගින් සිදුවන අතර එA අතරින් වැඩිම ආරක්‍ෂිත ප්‍රදේශ සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කර ඇත්තේ වනසත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂා කිරීමේ ආඥ පනත මගිනි. මෙම පනත් අතරින් අඩුම ආරක්‍ෂිත ප්‍රදේශ සංඛ්‍යාවක් නම් කර ඇති සහ තවමත් නිසි පල නොලබන පනත බවට ඇත්තේ ද 1988 අංක 03 දරණ ජාතික උරුම වන භූමි පනතයි. 1988 දී සම්මත වූ මෙම පනත මගින් ප්‍රකාශයට පත් කළ හැක්‌කේ ජාතික උරුම වන භූමි නමින් හඳුන්වන්නා වූ ප්‍රදේශ පමණක් වන අතර උක්‌ත පනත යටතේ දැනට නම් කර ඇති එකම ජාතික උරුම වන භූමිය වන්නේ සිංහරාජ වනාන්තරය පමණි. එය ජාතික උරුම වන භූමියක් ලෙස නම් කරන ලද්දේ 1988 වසරේදීය. එතැන් පටන් මෙම පනත පනවා වසර විසි එකක් ගෙවී යන මේ මොහොත වන විටත් ඉහතින් සඳහන් කළ සිංහරාජ වනාන්තරයට අමතරව කිසිඳු ආරක්‍ෂිත ප්‍රදේශයක් මේ පනත යටතේ නම් නොකිරීම පිළිබඳ වෙසෙසින් සිතා බැලිය යුතුය.
උක්‌ත පනත යටතේ ජාතික උරුම වන භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේදී සපුරාලිය යුතු කොන්දේසි පනතේ 2(1) වගන්තිය යටතේ දක්‌වා තිබේ.
(I) අද්විතීය ස්‌වාභාවික ලක්‍ෂණයන්ගෙන් හෙබි පරිසර පද්ධතීන්
(II) ප්‍රවේනි සම්පත් හෝ භෞතික සහ ජෛව විද්‍යාත්මක ආචිතයන්
(III) විද්‍යාවේ හෝ සංරක්‍ෂණයේ දෘෂ්ඨිකෝණයට අනුව කැපී පෙනෙන විශ්ව වටිනාකමකින් යුක්‌ත වූද?
(IV) දුර්ලභවීමේ හා වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින සතුන්ගේ හා ශාකවල වාසභූමි
(V) ස්‌වාභාවික තත්ත්වයන් රැක ගැනීමට අවශ්‍ය ප්‍රදේශ
(VI) ස්‌වාභාවික සෞන්දර්ය වැඩිදියුණු කිරීමේ කාර්ය සඳහා
(VII) ප්‍රවේණි සම්පත් හෝ කැපී පෙනෙන ස්‌වාභාවික ලක්‍ෂණ සහිත ප්‍රදේශ වශයෙනි.
උක්‌ත අවශ්‍යතාවන්ගෙන් එකකට හෝ අදාළ වන යම් ප්‍රදේශයක් ජාතික උරුම වන භූමියක් ලෙස නම් කිරීමට සුදුසුකම් ලබන බව පනතට අනුව පැහැදිලිවේ. මෙහිදී වඩා වැදගත් කොන්දේසියක් වන්නේ එම නම් කරන ප්‍රදේශය රජයේ ඉඩම්වලින් සමන්විත විය යුතු වීමයි. මෙහිදී අදාළ නම් කිරීමට පෙර විෂය භාර අමාත්‍යවරයා විසින් තවත් විෂයන් 07 ක් බාර අමාත්‍යවරුන්ගේ අනුමැතිය ලබාගත යුතුය. එම විෂයන් වන්නේ පරිසර, වනසත්ව, ධීවර, කෘෂිකර්ම, ආරක්‍ෂක, සංස්‌කෘතික කටයුතු හා දේශීය වෛද්‍ය යන විෂයයන්ය. එයින් පසුව එම ප්‍රදේශය දැක්‌වෙන පිඹුරක් මිනුම්පති ලවා සකස් කළ යුතු අතර ඉන් අනතුරුව පනතේ 2(1) වගන්තිය යටතේ එම ප්‍රකාශයට පත් කිරීම ගැසට් පත්‍රයේ පළ කළ හැකිය.
අදාළ ගැසට් නිවේදනය පළ කිරීමෙන් පසුව එම ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් අනුමත කළ යුතුව තිබෙන අතර එයින් අනතුරුව එය පාර්ලිමේන්තුවට යොමු කර ස්‌ථිර කරගත යුතුය. එයින් පසු එය ජනාධිපති විසින් අනුමත කර පාර්ලිමේන්තුව මගින් සම්මත කළ බවට නැවත ගැසට් පත්‍රයේ නිවේදනයක් පළ කළ යුතුය. ජාතික උරුම වන භූමියක් ප්‍රකාශයට පත් කිරීම බලාත්මක වන්නේ මෙම දෙවන ගැසට් නිවේදනය පල කිරීමෙන් අනතුරුවය.
මෙයාකාරයට ප්‍රකාශයට පත් කරනු ලබන ජාතික උරුම වන භූමියකට ඇතුළුවීමට අදාළ ප්‍රතිපාදන පනතේ 3 වැනි වගන්තියේ දක්‌වා තිබේ. එවැනි ඇතුල්වීමක් සඳහා නිසි බලධාරියාගේ අවසරය ලබාගත යුතුය. එවැනි අවසර ලබාදෙන එක් ආකාරයක් වන්නේ කිසියම් නිල කටයුත්තක් සඳහා ඇතුළුවීමට දෙන අවසරය වන අතර දෙවැනි අවස්‌ථාව වන්නේ සතුන් හා වෘක්‍ෂලතා නැරඹීම සඳහා විද්‍යාත්මක අධ්‍යනයක් කරගෙන යැමට දෙනු ලබන අවසරයයි. මේ පනත යටතේ කටයුතු කිරීමට බලය ලබාදෙන නිසි බලධාරියා වන්නේ වන සංරක්‍ෂකවරයා බව පනතේ 07 වැනි වගන්තියේ සඳහන්වේ. උක්‌ත නිසි බලධාරියා ජාතික උරුම වන භූමි පනතින් ලැබී ඇති බලතල ක්‍රියාත්මක කිරීමට අමතරව එම ජාතික උරුම වනභූමි නිරීක්‍ෂණයට, අධ්‍යයනයට හා ආශ්වාදය ලැබීමට උචිත තත්ත්වයට ගෙනඑම සඳහා පහසුකම් වැඩි කිරීමට කටයුතු සම්පාදනය කළ යුතුය.
ජාතික උරුම වන භූමියක් තුළ සිදු කිරීමට තහනම් ක්‍රියාවන් පනතේ 4 වැනි වගන්තිය මගින් දක්‌වා තිබේ.
(I) පැළෑටි හෝ ගස් කැපීම, හානි කිරීම, වෙනත් යමකට පරිවර්තනය කිරීම, ඉරීම හෝ ඉවතට ගෙන යැම.
(II) දැව හෝ වෙනත් වන නිෂ්පාදන එක්‌රැස් කිරීම හෝ ඉවතට ගෙන යැම.
(III) තණකොළ කැපීම හෝ ගවයන්ට තණ කැවීම
(IV) ජලය අපවිත්‍ර කිරීම
(V) කිසියම් ශාකයකට හානි කිරීම, විනාශ කිරීම හෝ ඉවතට ගෙන යැම
(VI) කිසියම් ශාකයක් විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම.
(VII) යම් සතකුට මොනයම් හෝ හානියක් කිරීම
(VIII) යම් සතකු හෝ සතකුගේ කොටසක් විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම
(IX) පක්‍ෂියකුගේ හෝ උරගයකුගේ කූඩුවක් විනාශ කිරීම හෝ බිත්තර ගැනීම හෝ එAවා විනාශ කිරීම.
(X) සතකු කලබලයට පත් කිරීමේ හෝ කලබලයට පත් කිරීමට ඉඩ ඇති ක්‍රියාවක නිරත වීම.
(XI) සතකු බෝවන ස්‌ථානයකට අවහිර කිරීම හෝ අවහිරවීමට ඉඩ ඇති ක්‍රියාවක් සිදු කිරීම.
(XII) සතකුට හෝ ශාකයකට හානි කළ හැකි ද්‍රව්‍යක් සන්තකයේ තබාගැනීම හෝ භාවිතය
(XIII) භූමිය එළිපෙහෙළි කිරීම
(XIV) තාවකාලික හෝ ස්‌ථිර ගොඩනැඟිල්ලක් ඉදිකිරීම හෝ එවැන්නක පදිංචිව සිටීම
(XV) මාර්ගයක් තැනීම
(XVI) මායිම් සලකුණුවලට හානි කිරීම, වෙනස් කිරීම හෝ ඉවත් කිරීම.
මෙයට අමතරව යම් ප්‍රදේශයක් ජාතික උරුම වන භූමියක් ලෙස නම් කිරීමෙන් අනතුරුව නිසි බලධාරියා විසින් කඩිනමින් එම ප්‍රදේශය සඳහා සමායෝජිත කළමනාකරණ සැලැස්‌මක් සකස් කළ යුතුය. එම සමායෝජිත කළමනාකරණ සැලැස්‌ම සකස් කළ යුත්තේ පනතේ 10(1) වගන්තියේ දක්‌වා ඇති ආයතන 07 ක සහයෝගය ඇතුවය. එනම්,
(1) වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව
(2) වන ජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව
(3) ධීවර දෙපාර්තමේන්තුව
(4) කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
(5) මධ්‍යම පරිසර අධිකාරිය
(6) සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
(7) ආයුර්වේද දෙපාර්තමේන්තුවයි
මෙම ජාතික උරුම වන භූමි පනතේ පවතින අනෙක් විශේෂත්වය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හැර වෙනත් ලිඛිත නීතියකට පටහැනිව කවර හෝ විධිවිධානයක කුමක් සඳහන්ව තිබුණ ද එ සියලු නීති අභිබවා මෙම පනතේ විධිවිධාන බලාත්මක වන බව පනතේ 11 වැනි වගන්තියේ සඳහන්ව තිබේ.
ජාතික උරුම වන භූමි පනතේ පවතින ප්‍රතිපාදන හා නියෝග උල්ලංඝනය කරන අයට එරෙහිව දඬුවම් පනතේ 12 වැනි වගන්තියේ දක්‌වා තිබේ. එ අනුව මෙම පනත යටතේ වරදකරුවකුට රුපියල් 200-20000 දක්‌වා දඩයක් හෝ මාස 06 තෙක් වන සිර දඬුවමකට හෝ ඉහත දඬුවම් දෙකටම යටත් කළ හැකි වේ.
එක් අතකින් බැලීමේදී ජාතික උරුම වන භූමි පනත සුවිශේෂ වැදගත්කමකින් යුත් පනතක් වන අතර අනෙක් පසින් එයටම ආවේණික දුර්වලතා රාශියකින් ද යුක්‌ත බව පෙනී යයි. විශේෂයෙන් මෙම ජාතික උරුම වන භූමි පනත මගින් සුවිශේෂ වූ ජාතික වශයෙන් වැදගත් ප්‍රදේශ ආරක්‍ෂා කිරීම සඳහා පනවා තිබේ. මෙම පනතේ වඩා සුවිශේෂත්වය වන්නේ දැනට පරිසරය සුරැකීම සඳහා පවතින පනත්වල සීමා මායිම් වඩාත් පුළුල් මට්‌ටමකට ගෙන ගොස් තිබීමයි. උදාහරණ වශයෙන් අද්විතීය හෝ කැපී පෙනෙන ස්‌වභාවික ලක්‍ෂණ සහිත ප්‍රදේශ ආරක්‍ෂා කිරීමේ ඉඩකඩක් මෙම පනත මගින් ලබාදී තිබේ. එනම් යම් දිය ඇල්ලක් හෝ සුවිශේෂ භෞතික පිහිටීමක් සහිත ස්‌ථානයක් මෙම පනත මගින් ආරක්‍ෂිත ස්‌ථානයක් බවට පත් කළ හැකිය. නමුත් වර්තමානය දක්‌වා මෙම පනත මගින් එවැනි ප්‍රයෝජනයක් ගෙන නොතිබීම ප්‍රබල අඩුවක් ලෙස පෙන්වා දිය යුතුය.
මෙම පනතේ පවතින අනෙක් ප්‍රධාන දුර්වලතාව වන්නේ ආරක්‍ෂිත ප්‍රදේශයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා දීර්ඝ හා එමෙන්ම සංකීර්ණ ක්‍රියා පටිපාටියකි. මේ නිසා කිසිදු ආරක්‍ෂිත ප්‍රදේශයක් කඩිනමින් ප්‍රකාශ කිරීමට මෙම පනත මගින් අවකාශ නොමැත. උදාහරණ වශයෙන් අනෙකුත් පනත්වලදී ප්‍රකාශිත ආරක්‍ෂිත ප්‍රදේශය ගැසට් නිවේදනයකින් ප්‍රසිද්ධ කළ අවස්‌ථාවේ පටන් බලාත්මක වුවද ජාතික උරුම වනභූමි පනතේදී එය බලාත්මක වන්නේ ජනාධිපති හා පාර්ලිමේන්තුව විසින් අනුමත කළ පසු නිකුත් කරනු ලබන දෙවන ගැසට් නිවේදනයත් සමගිනි. අනෙක් අතට ආරක්‍ෂිත ප්‍රදේශයක් ලෙස කිසියම් ප්‍රදේශයක් නම් කිරීමේදී එයට ලැබෙන ආරක්‍ෂාවේ මට්‌ටම ඉතා වැදගත් බව නොකිවමනාය. ජාතික උරුම වන භූමියක් නම් කිරීමේ කාර්ය පටිපාටිය ඉතාම සංකීර්ණ හා දුෂ්කර කටයුත්තක් වුවද එයට ලැබෙන ආරක්‍ෂාවේ මට්‌ටම බොහෝදුරට සමාන වන්නේ වනසත්ව හා වෘක්‍ෂලතා ආඥපනත යටතේ ප්‍රකාශිත දැඩි රක්‍ෂිතයක් නොවන අනෙකුත් රක්‍ෂිතවල ආරක්‍ෂාවේ මට්‌ටමය. නමුත් ඉහතින් සඳහන් කළ වනසත්ව හා වෘක්‍ෂලතා ආඥ පනත මගින් ජාතික උරුම වන භූමි පනතට සමාන ආරක්‍ෂාවක් ලබාදෙන රක්‍ෂිත නම් කිරීම කල්ගතවන හා සංකීර්ණ ක්‍රියාදාමයකින් තොරව කිරීමේ හැකියාවක් පවතී. මෙම තත්ත්වය මත එක්‌කෝ දැනට මෙම පනතේ පවතින දීර්ඝ හා සංකීර්ණ කාර්ය පටිපාටිය සරල හා කාර්යක්‍ෂම කළ යුතු අතර නැතහොත් ලැබෙන ආරක්‍ෂාවේ මට්‌ටම දැනට පවතින සාමාන්‍ය තත්ත්වයට වඩා ඉහළ තත්ත්වයකට පත් කළ යුතුය. එමෙන්ම ඕනෑම නීතියක් අර්ථවත් වන්නේ සහ කාලීනව වර්ධනය වන්නේ එය නිරන්තරයෙන් භාවිතයට ගැනීමේදීය. නමුත් ජාතික උරුම වනභූමි පනතින් සිංහරාජ වනාන්තරය ජාතික උරුම වනභූමියක් කිරීමෙන් අනතුරුව අද දක්‌වා මේ පනතින් ආරක්‍ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් නොකිරීම ද විශාල දුර්වලතාවක්‌ව පවතී. මේ නිසා ජාතික උරුම වනභූමි පනත වඩා අර්ථවත් කිරීමට මෙන්ම කාර්යක්‍ෂමව ක්‍රියාවේ යෙදවීම සඳහාත් අවශ්‍ය සංශෝධන ඇති කිරීම සඳහා බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමුවිය යුතුය.
නීතිඥ නිශාන්ත සමන් කුමාර
0 comments:
Post a Comment