Sunday, December 13, 2009

ලෝකයේ පරිභෝජන රටාවන්ගේ ගැටලූව හා කෝපන්හේගන් සමුළුව


අජිත් පැරකුම් ජයසිංහ (සංදේශය සඟරාවේ ලිපියකි)

අන්තර් රාජ්‍ය කාලගුණ වෙනස සඳහා වූ මණ්ඩපයේ පාරිසරික විද්‍යාඥයන් 26දෙනෙකු විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වන පරිදි 2007 දී නිගමනයකර තිබූ ප‍්‍රමාණයට වඩා දෙගුණයක වේගයකින් මිහිතලය උණුසුම් වන අතර වසර 2100 වන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 7කිනුත්, මුහුදු මට්ටම මීටරයකට වඩා වැඩි ප‍්‍රමාණයකිනුත් ඉහළ යනු ඇත.


ග‍්‍රීන්ලන්තයේ සහ ඇන්ටාක්ටිකාවේ අයිස් කඳු කලින් සිතුවාට වඩා වේගයෙන් දිය වෙමින් ඇති අතර මුහුදු මට්ටම 1995 සිට වසරකටමිලිමීටර 3.4කින් ඉහළ යමින් ඇති බව වාර්තාව පෙන්වා දෙයි.


මෙම වාර්තාව සැකසීමට දායක වූ විද්‍යාඥයන්ගෙන් අඩක් පමණ 2007දී නිකුත් කරන ලද වාර්තාව සකස් කිරීමට ද දායක වූහ. මිහිතලය උණුසුම් වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ජල හිඟය ව්‍යාප්ත වීමට හා නියං සහ ගංවතුර වඩාත් ළඟ ළඟ ඇති වීමට ඉඩ ඇති බව මෙම වාර්තාව විසින් පෙන්වා දෙන ලදී. අලූත් ම වාර්තාව නිකුත් කර ඇත්තේ තවත් තුන් වසරක නිරීක්ෂණ පාදක කරගෙනයි. ග‍්‍රීන්ලන්තයේ හා ඇන්ටාක්ටිකාවේ අයිස් කඳු දිය වීමෙන් ඇති වන ප‍්‍රතිඵල පිළිබඳ 2007 වාර්තාවේ නො තිබුණ දත්ත ද නව වාර්තාවට එකතු කර තිබේ.
අන්තර් රාජ්‍ය කාලගුණ වෙනස සඳහා වූ මණ්ඩපය විසින් 2007දී නිකුත් කරනු ලැබූ මෙම වාර්තාවෙන් කියැවුණේ මිහිතලය උණුසුම් වීම ෆොසිල ඉන්ධන දැවීම වැනි මානව ක‍්‍රියාකාරිත්වයන්ගේ ප‍්‍රතිඵල බවයි.


කාර්මීකරණය වේගවත් වූ 19වන සියවසේ සිට පෘථිවිය සෙල්සියස් අංශක 1.37කින් උණුසුම් වී ඇති බව පෙන්වා දුන් එම වාර්තාව මෙම සියවසේදී එය තවත් සෙල්සියස් අංශක 1.1කින් ඉහළ ගොස් සමස්තයක් ලෙස අංශක 6.4ක් දක්වා වැඩි වනු ඇති බව පෙන්වා දෙන ලදී. අලූත් දත්ත පදනම් කරගෙන වෙනස් කර ඇත්තේ මෙම අනාවැකියයි.


කුණාටුවල ශක්තිය හා ඒවා ඇති වීමේ නිරන්තරභාවය කෙරෙහි මිහිතලය උණුසුම් වීමේ දායකත්වය පිළිබඳ පැනය තවමත් නො විසඳී ඉතිරි වී තිබේ.


මිහිතලය උණුසුම් වීම පිළිබඳ විද්‍යාඥයන්ගේ අදහස් සහ ඒවා පිළිබඳ සැක කරන දක්ෂිණාංශික අසුබවාදීන් අතර මෙම උෂ්ණත්වය ඉහළ යාම සඳහා මිනිසුන්ගේ දායකත්වය පිළිබඳව දීර්ඝ කාලයක පටන් විවාදයක් ඇත. විද්‍යාඥයන්ගේ අනාවැකිය වැරදි බව හා මිනිස් පරිභෝජන රටා වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ඔවුන්ගේ ආස්ථානයයි. මෙම වාර්තාව පිළිබඳව ඔවුන් කියන්නේ මෙය රටවල් 190කට වැඩි ගණනක සහභාගිත්වයෙන් දෙසැම්බර් 7දා සිට 18දා දක්වා කෝපන්හේගන්හිදී පැවැත්වීමට නියමිත ජගත් පාරිසරික සමුළුව ඉලක්ක කරගෙන සකසන ලද බිය ඇති කිරීම අරමුණ කර ගත් වාර්තාවක් බවයි. කෝපන්හේගන් සමුළුවේදී හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට අදාළ ගිවිසුමක් සඳහා එකඟතාව ඇති කර ගැනීමට බලාපොරොත්තු වේ.


මේ අතර, වෙනම නිකුත් කරන ලද එක්සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන් වන පරිදි පසුගිය වසරක කාලය තුළ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඞ්, මීතේන් සහ නයිට‍්‍රස් ඔක්සයිඞ් සාන්ද‍්‍රනය වාර්තාගත අන්දමින් වැඩි වි තිබේ. ෆොසිල ඉන්ධන දැවීමේ හා වන විනාශයේ ප‍්‍රතිඵලයක් ලෙස වායුගෝලයට කාබන් ඩයොක්සයිඞ් මුදා හැරෙන අතර වායු අණු මිලියනයක කාබන් ඩයොක්සයිඞ් අණු එකක් බැගින් තිබේ. මෙය ගිය වසරට වඩා වායු අංශු මිලියනයට අංශු දෙකක් වැඩි වීමකි. දැන් වායු අංශු මිලියනයක ඇති කාබන් ඩයොක්සයිඞ් අංශු සංඛ්‍යාව 385.2ක් දක්වා වැඩි වී තිබේ.  



විශිෂ්ඨ තාප ධාරිතාව ඉහළ කාබන් ඩයොක්සයිඞ්, මීතේන් සහ නයිට‍්‍රස් ඔක්සයිඞ් වැනි වායු වායුගෝලයට එක් වූ විට සිදු වන්නේ එම වායු විසින් වැඩියෙන් තාපය දරා ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස පෘථිවියේ මතුපිට ස්ථරයේ හා මුහුදේ උෂ්ණත්වය ඉහළ යාමයි. ෆොසිල ඉන්ධන දහනය හා වන විනාශය වේගවත් වූ කර්මාන්තකරණයට පෙර යුගයේ පවා සුළු වශයෙන් මිහිතලය උණුසුම් වී තිබේ. එයට හේතුව සූර්ය විකිරණ හා ගිනිකඳු පිපිරීම් ආදියයි.


වර්තමාන ලෝකයේ වායුගෝලයට වැඩියෙන් ම හරිතාරගාර වායු විමෝචනය කරන රට බවට පත් වී තිබෙන්නේ චීනයයි. එක්සත් ජනපදය,  ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල් ඊළඟට සිටිති.


ධනේශ්වර දක්ෂිණාංශික බලවේග වර්තමාන පාරිභෝජන රටාවන් හා ඒ සමග බැඳුණු කර්මාන්තකරණ රටාව වෙනස් කිරීම කෙරෙහි දැඩි විරෝධයක් පාති. එහෙත්, දේශගුණ විපර්යාසයන් හේතුකොටගෙන සිදු වී ඇති හානිය වෙනුවෙන් පිළියම් යෙදීම එකී බලපෑම් අවමකර ගැනීම, කාබන් වායුව ගබඩා කිරීම වැනි කාර්යයන් සඳහා ඩොලර් ටි‍්‍රලියන ගණනාවක් වැයවනු ඇති බවට ධනේශ්වර ආර්ථික විද්‍යාඥයෝ ම අනුමාන කරති. හරිතාගාර වායු විමෝචනය සීමා කිරීමේ කාලය පමාවත් ම වැයවන වියදම් තව තවත් වැඩිවනු ඇති බව ඔවුහු පෙන්වා දෙති.


ගෝලීය උණුසුම කාර්මීකරණයට පෙර යුගයේ පැවති මට්ටමට වඩා සෙල්සියස් අංශක 2 - 3 කින් වැඩිවුවහොත්, ගෝලීය නිෂ්පාදනය 3%කින් පමණ අඩුවිය හැකි බව බි‍්‍රිතාන්‍ය ආර්ථික විද්‍යාඥ නිකලස් ස්ටර්න් පෙන්වා දී ඇත. උෂ්ණත්වය සෙල්සියස් අංශක 5 - 6 කින් වැඩිවුවහොත් දළ ගෝලීය නිෂ්පාදිතය 10%කින් අඩුවිය හැකි බවට අනාවැකි පළ වේ.


හරිතාගාර වායු විමෝචනය අඩුකිරීමට නම්, ගල් අඟුරු, තෙල් සහ ගෑස් වඩාත් කාර්යක්ෂම ලෙස පාවිච්චි කිරීමටත්, පවිත‍්‍ර පුනර්ජනනීය බලශක්ති මුලාශ‍්‍ර කෙරේ විශ්වාසය තබා කටයුතු කිරීමටත් සිදුවේ.


වඩාත් ම කාර්මීකරණය වූ රටවල් අටේ කණ්ඩායම හා යුරෝපා හවුලට අයත් රටවල් ගෝලීය උණුසුම වැඩි වීම කර්මාන්තකරණය ආරම්භයට පෙර තිබුණු උෂ්ණත්ව මට්ටමේ සිට සෙල්සියස් අංශක 2ට අඩුවෙන් පවත්වාගෙන යාමට එකඟත්වය පළකර තිබේ. ඒ සඳහා වායුගෝලය දූෂණය වීම දැනට පවතින මට්ටමට වඩා අඩු කළ යුතුව තිබේ. දැනට පවතින මට්ටමෙන් ගියත් සෙල්සියස් අංශක 2 සීමාව පසු කර යාම සඳහා 25%ක අවස්ථාව ඇති බව අන්තර් රාජ්‍ය කාලගුණ වෙනස සඳහා වූ මණ්ඩපය විසින් නිකුත් කරන ලද වාර්තාව පෙන්වා දෙයි. මේ සඳහා යුරෝපා සංගමය පමණක් ඩොලර් ටි‍්‍රලියන 10.5ක් ආයෝජනය කළ යුතු බව ගණන් බලා ඇත.


වඩාත් කාර්යක්ෂම වාහන පාවිච්චිය සඳහා ඩොලර් ටි‍්‍රලියන 4.7 ක් අයෝජනය කළ යුතු බව ගණනය කර ඇත.. ගොඩනැගිලිවල බලශක්ති පාවිච්චිය කාර්යක්ෂම කිරීමට ඩොලර් බිලියන 2.5ක්ද, අඩු කාබන් බලශක්ති ජනනය සඳහා ඩොලර් ටි‍්‍රලියන 1.7 ක් වනු ඇතැයි ද අවශ්‍ය වනු ඇත.


මීට අමතරව පරිසර පද්ධති සංරක්ෂණය, බලශක්තිය, සංචාරක, නිෂ්පාදන, පතල් කැනීම් ආදී කටයුතු වඩාත් ආරක්ෂිත ලෙස කිරීම සඳහා තවත් ඩොලර් ටි‍්‍රලියන ගණනාවක් වැය කිරීමට සිදුවනු ඇත.
මෙසේ වැය කරන ඩොලර් ටි‍්‍රලියන ගණනාවක ආයෝජනය ආර්ථික වර්ධනයටත්, නව රැකියා අවස්ථා බිහිකිරීමටත් හේතු වනු ඇති බව ඇතැම් ආර්ථික විශ්ලේෂකයෝ පවසති.


ගෝලීය උණුසුම වැඩිවීම හේතුවෙන් දරුණු නියඟයන්, ශුෂ්කතාව, ගංවතුර සහ උග‍්‍ර ආහාර හිඟයන් ආදී ව්‍යසන අත්විඳින මධ්‍යම අමෙරිකානු රටවල් කාර්මික රටවලින් ඩොලර් බිලියන 105 ක වන්දියක් ඉල්ලා සිටිය යුතු බව ‘පාරිසරික ණය‘ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට මෑතදී ගෝතමාලාවේදී රැුස් වූ මධ්‍යම අමෙරිකානු රටවල පාරිසරික අමාත්‍යවරු සාකච්ඡා කළහ.


වන්දි ඉල්ලීමට අදාළ විධිමත් ප‍්‍රකාශනයක් ලබන දෙසැම්බරයේ කෝපන්හේගන්හිදී පැවැත්වෙන ජගත් පාරිසරික සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙහිදී හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට අදාළ තිරසාර තීරණයන්ට එළඹීමට බටහිර රටවලට බලකරන බව නිකරගුවා පාරිසරික අමාත්‍යවරයා සමුළුවේදී අවධාරණය කළේය.


එහෙත් දියුණු ධනේශ්වර රටවල් තමන් විසින් අතීතයේ කරනු ලැබූ හා දැනටත් කරමින් ක‍්‍රියා නිසා පීඩාවට පත්ව සිටින දිළිඳු රටවල් කෙරෙහි අවධානයක් නො දක්වන බව පැහැදිලි ය. මේ බව නැවත ඔප්පු කරන සිදුවීමක් වන්නේ පසුගියදා පැවති එක්සත් ජාතීන්ගේ සාගිනි නිවීමේ මහ සමුළුවයි. ලොව ධනවත් රටවල නායකයන් මෙයට සහභාගි නොවීම නිසා එය හුදෙක්ම ‘තාක්ෂණික සංසදයක්‘ බවට පත්වූ බව, ජගත් ආහාර නියෝජිතායතනයේ ප‍්‍රධානියා සමුළුවෙන් පසු පැවසීය. රෝමයේ පැවති මෙම තුන්දින සමුළුවට රාජ්‍ය නායකයන් 60 දෙනෙක් පමණ සහභාගි වුවත්, දියුණු ධනේශ්වර රටවල් අටේ කණ්ඩායමෙන් සහභාගි වූයේ සමුළුව පැවති රට වන ඉතාලියේ අගමැතිවරයා පමණි.


ලොව බිලියන සංඛ්‍යාත දුගී දුප්පතුන් මුහුණදෙන ගැටලූව ආර්ථික, සමාජීය, මූල්‍ය මෙන්ම සංස්කෘතික සංසිද්ධීන්ගේ සංකලනයක් බව ජගත් ආහාර සහ කෘෂිකාර්මික සංවිධානයේ අදහසයි. සමුළුවේ මූල්‍ය ප‍්‍රකාශනයේ කෘෂිකාර්මික කටයුතු සඳහා අරමුදල් උපයා ගැනීමට අදාළ ප‍්‍රතිඥා හෝ නිශ්චිත ඉලක්ක සහ කාල පරාස ඇතුළත් නොවීම නිසා එය සමුළු සාමාජිකයන්ගේ දැඩි විවේචනයට ලක්විය.


ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ සාගිනි නිවීමට නම් කෘෂිකර්මය සංවර්ධනය කිරීමට වාර්ෂිකව ඩොලර් බිලියන 44 ක් පමණ අවශ්‍ය වනු ඇති බව ගණන් බලා තිබේ. මෙය අවි ආයුධ මිලදී ගැනීම සඳහා ලෝකය වාර්ෂිකව වියදම් කරන මුදල වන ඩොලර් ටි‍්‍රලියන 1.34න් සොච්චමක් පමණකි.


හරිතාගාර වායු විමෝචනය සම්බන්ධයෙන් ද දියුණු රටවල් දක්වන්නේ මෙවැනි මඇල්මැරුණු ආකල්පයකි. දෙසැම්බරයේදී කෝපන්හේගන්හිදී පැවැත්වෙන ජගත් පාරිසරික සමුළුවේදී ද හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට අදාළ නීත්‍යානුකූල බැඳීමකින් යුත් ගිවිසුමක් ඇතිකර ගැනීමට ඉඩකඩ නැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් පැවසීය. එවැනි ගිවිසුමකට එළඹීම 2010 වසර දක්වා කල් දමා තිබේ. 2010 මැද භාගයේ බොන්හිදී හෝ දෙසැම්බරයේ මෙක්සිකෝහිදී මේ පිළිබඳ සම්මුතියක් ඇති කරගත හැකිවනු ඇතැයි අපේක්ෂිතය. කෝපන්හේගන් සමුළුවේදී දේශපාලන ගිවිසුමකට පමණක් එළඹීමට ජනාධිපති ඔබාමා සහ ආසියා - පැසිෆික් කලාපයේ ඇතැම් රටවල් එකඟවී තිබේ. කාබන් සීමා කිරීමේ නීති අමෙරිකන් සෙනට් සභාව විසින් මෙතෙක් අනුමත කර නැත.


කෝපන්හේගන්හීදී පැවැත්වීමට නියමිත ජගත් පරිසර සමුළුවට මත්තෙන්, ප‍්‍රධාන පෙළේ රටවල් 42 ක පාරිසරික ඇමැතිවරු නොවැම්බර් මුල දෙදින රැස්වීමක් පැවැත්වූහ.


ප‍්‍රධාන පෙළේ හරිතාගාර විමෝචනය කරන රටවල් කාබන් විමෝචනය අඩු කර ගන්නා ප‍්‍රතිශතයන් නිර්නය කිරීම සහ දුප්පත් රටවලට දේශගුණික විපර්යාසයන්ට හේතු නො වන තාක්ෂණ ශිල්ප ක‍්‍රමවලට අනුවර්තනය වීම සඳහා, ආධාර ලබාදීම පිළිබඳව තීරණයකට එලඹිය යුතුව ඇති බව සෙසු රටවල් විසින් ඉල්ලා සිටිනු ලැබේ. දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීමේ තාක්ෂණයන් උපයෝගී කර ගැනීමට දුගී රටවල් වෙනුවෙන් වසරකට ඩොලර් බිලියන 400ක් පමණ වැය කළ යුතුව ඇතැයි ගණන් බලා තිබේ. කෙසේ වෙතත්, මෙම අවශ්‍යතාව පිරිමැසීම සඳහා කිසිදු පොහොසත් රටක් මෙතෙක් ඉදිරිපත් වී නැත.
නැගී එන කාර්මික රටක් වන බ‍්‍රසීලය සිය උවමනාවෙන්ම වායු විමෝචනය 2020 වන විට 36 - 39%අතර ප‍්‍රමාණයකින් අඩු කිරීමට ඉදිරිපත් වන බව නොබෝදා ප‍්‍රකාශයට පත් කළේය.


බංග්ලාදේශ් අගමැති ෂීක් හසීනා බිිතාන්‍ය අගමැති ගෝඩන් බ‍්‍රවුන්,  ඕස්ටේ‍්‍රලියානු අගමැති කෙවින් රඞ් සහ ජගත් මහ ලේකම් බැන් කී මුන් ද ඇතුළුව රටවල් හයක නායකයන් ගේ සහභාගීත්වයෙන් ඉකුත් අඟහරුවාදා පැවති වීඩියෝ සාකච්ඡුාවකදී වැදගත් ප‍්‍රකාශයක් කළාය. සංවර්ධිත සහ සංවර්ධනය වන රටවල් වායු විමෝචනය හා අදාළ වැදගත් කරුණු සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට අපොහොසත් වීම නිසා, දුප්පත් රටවල දැවෙන ප‍්‍රශ්න කෙරේ අවධානය යොමු නොවනු ඇති බවට ඇය චෝදනා කළාය. ගෝලීය ආර්ථික අවපාතයෙන් බැට කෑ රටවල් ගොඩගැනීමට උදව් උපකාර කළ ආකාරයටම, දේශගුණික විපර්යාස වලින් බැට කන රටවල් මුදා ගැනීමට ද පොහොසත් රටවල් ඉදිරිපත් විය යුතු බව ඇය අවධාරණය කළාය. බංග්ලාදේශය, මාලදිවයින, භූතානය, නේපාලය වැනි රටවල් දේශගුණ අර්බූදයෙන් මුදවා ගැනීමට, කෙතරම් මුදලක් ලබාදෙන්නේ ද යන්න පිළිබඳව පොහොසත් රටවල් නිශ්චිත නිගමනයකට එළැඹිය යුතු බව ඇය අවධාරණය කර තිබේ.


මුහුදු මට්ටම ඉහළයාම නිසා මෙවැනි රටවල වෙසෙන මිලියන 20 ක පමණ ජනතාවක්, 2050 වන විට අවතැන්වනු ඇති බව විද්‍යාඥයෝ අනාවැකි පළ කරති.


දෙසැම්බරයේදී කෝපන්හේගන් හි පැවැත්වීමට නියමිත ජගත් පරිසර සමුළුවේදී, හරිතාගාර වායු විමෝචනය සීමාකිරීම පිළිබඳ ගිවිසුමකට ලෝක ප‍්‍රජාව එකඟ නොවුවහොත් ‘ගෝලීය සියදිවි නසාගැනීමේ ගිවිසුමකට‘ අත්සන් තැබීමට සිදුවනු ඇති බව මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් උද්වේගාත්මක උද්ඝෝෂණයක නියැලී සිටින මාලදිවයින් ජනාධිපතිවරයා ගෝලීය උණුසුම්වීමේ බලපෑමට වඩා ප‍්‍රබල ලෙස ගොදුරුවන රටවල් 11ක නියෝජිතයන් සහභාගිවූ මේ දෙදින සමුළුවක් අමතමින් පසුගියදා අනතුරු ඇඟවූයේය.


2020 දී මාලදිවයින් ¥පත් සමූහය කාබන් ශුන්‍ය රටක් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන ඩොලර් මිලියන 200ක් වැයකර සුළං බලශක්ති පිහිටුවීමට එරට රජය කටයුතු කර ඇත. දැනටත් වායුගෝලීය දූෂණයට අවම දායකත්වයක් සපයන රටක් වන මාලදිවයින ලෝකයේ රටවල් අතරින් දේශගුණික විපර්යාස හේතුවෙන් වැඩි ම අවදානමට මුහුණ දී සිටින රටක් වේ. වසර 2100 වන විට මාලදිවයින් දූපත් පෙළ මනුෂ්‍ය වාසයට සුදුසු නොවනු ඇති බවට අනතුරු අඟවා තිබේ.


වසර 2012දී දැනට ක‍්‍රියාත්මක කියෝටෝ ප‍්‍රඥප්තිය අහෝසි වන බැවින් 2012 න් ඔබ්බට ගෝලීය උණුසුම අඩුකර ගැනීමට පොසිල ඉන්ධන විමෝචනය අඩු කර ගැනීම පිළිබඳව සම්මුතියකට එළඹීමට අවශ්‍ය ය. මේ පිළිබඳ සම්මුතියට එළඹීමට නම්, දියුණු ධනේශ්වර රටවල් සංවර්ධනය වෙමින් ඇති රටවල් අතර නිරාකරණය කරගත යුතු ගැටලූ රාශියක් තවමත් ඉතිරිව තිබේ.




0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Favorites More