Friday, December 25, 2009

තව මාස තුනකින් සහල් රු.පනහෙන් පහළට යනවා -වීමෝල් හිමියන්ගේ සංගමයේ සභාපති

ජගත් කණහැරආරච්චි, දිවයින 2009 දෙසැම්බර් 25

වර්තමානයේ සහල් හිඟයක්‌ ගැන කතා කළත් තවත් මාස තුනකින් සම්බා ඇතුළු සියලු සහල් මිල රුපියල් පනහෙන් පහළට යැම වැළැක්‌විය නොහැකි බව සමස්‌ත ලංකා වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා "දිවයින"ට පැවසීය.

එවිට අපට කතා කරන්නට සිදුවන්නේ වී විකුණාගත නොහැකි ගොවියා ගැන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

තම සංගමය වෙනුවෙන් පසුගියදා තමා අම්පාර, මඩකලපුව, අනුරාධපුරය, පොළොන්නරුව, ගාල්ල, මාතර, හම්බන්තොට ප්‍රදේශවල සංචාරය කළ බවත් එයින් පැහැදිලි වූයේ වගාකර ඇති ගොයම් එකම මට්‌ටමක පවතින බව හා සිංහල අවුරුදු සමය වන විට සියලු අස්‌වනු මෙවර එකවර වෙළෙඳපලට නිකුත් වන බව යෑයි ද ඒ මහතා පැවසීය.

උතුර - නැගෙනහිර මුදාගත් ප්‍රදේශ ද සැලකූ විට ලැබෙන අස්‌වනු ප්‍රමාණය සලකා වී සහ සහල් මිල විශාල වශයෙන් පහත බැසීමේ ප්‍රවණතාවක්‌ පවතින බැවින් රජය වහාම අස්‌වනු කළමනාකරණයක්‌ කළ යුතු බව ද හෙතෙම පැවසීය.

මෙවර යල කන්නයේ අස්‌වනු පාළුවීම වත්මන් සහල් හිඟයට හේතුව බව ද පැවසූ සභාපතිවරයා සහල් හිඟය පියවීම සඳහා රටින් සහල් ආනයනය කිරීම හැර වෙනත් විකල්පයක්‌ නැති බව ද පැවසීය


0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Favorites More