Friday, September 18, 2009

මිහිතලය උණුසුම් වීමෙන් වැඩිම අනතුරුදායක තත්වයක සිටින රටවල් අතර ලංකාවත්

(2009 සැප්තැම්බර් 18) ගෝලීය උණුසුම ඉහළ යාමේ ප‍්‍රතිවිපාකවලට මුහුණ දීම සඳහා රටවලට ඇති හැකියාව විචල්‍ය දහයක වැඩි ගණනක් ඔස්සේ මනින කාලගුණ වෙනස්කම්වලින් අනතුරට ලක්වීමේ හැකියාව පිළිබඳ දර්ශකය අනුව දේශගුණික විපර්යාස නිසා රටවල් 166ක් අතරින්  වැඩිම තර්ජනයට ලක් වී ඇත්තේ සෝමාලියාව, හයිටි සහ ඇෆ්ගනිස්තානය යන රටවල් ප‍්‍රමුඛ අපි‍්‍රකානු සහ දකුණු ආසියාතික රටවල් 28ක් බව පෙනීගොස් ඇත. ඒ අතර ලංකාව හා බංග්ලාදේශයද තිබේ. පාකිස්තානය හා ඉන්දියාවද තිබෙන්නේ හොඳ ස්ථානවල නොවේ.


මෙම රටවල් 28න් 22ක්ම අප‍්‍රිකානු රටවල් වේ. මුහුදු මට්ටම ඉහළයාම, වසංගත රෝග ව්‍යාප්තිය, ගංවතුර, නියඟ, කාන්තාරකරණය වැනි බරපතල පාරිසරික ප‍්‍රතිවිපාකවලට මෙම රටවල් දැනටමත් මුහුණ දෙමින් සිටිති. එයට හේතුව කාබන් ඩයොක්සයිඞ් හා මීතේන් ඇතුළු තාපය රඳවා ගන්නා හරිතාගාර වායු වර්ග අධික ලෙස වායුගෝලයට මුදා හැරීමේ ප‍්‍රතිඵලයක් ලෙස වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යාමයි.


මෙම දර්ශකය අනුව ඉතාම සුරක්ෂිත රටවල් ලෙස ඉදිරියෙන්ම සිටින්නේ නෝර්වේ, ෆින්ලන්තය, ජපානය, කැනඩාව සහ නවසීලන්තය යන රටවල්ය. එසේම සංවර්ධිත රටවල් අතරින් වැඩිම ඒක පුද්ගල කාබන් විමෝචනයන් සිදු කරන ඇමෙරිකාව සහ  ඕස්ටේ‍්‍රලියාවද වඩාත් සුරක්ෂිත රටවල ලයිස්තුවේ මුල් 15 අතර සිටී. යහ පාලනය හා සුරක්ෂිත පරිසර පද්ධති මීට හේතු වී ඇති බැව් සමීක්ෂණ වාර්තා හෙළිකර ඇත.


කාබන් විමෝචනය අවම කිරීමේ ලා දැනට අදාළ වන කියෝතෝ ප‍්‍රඥප්තිය 2012දී කාලාවසාන වීමට නියමිතය. කාබන් විමෝචනය අවම කිරීමේ අරමුණ ඇතිව එළඹෙන දෙසැම්බරයේ කෝපන්හේගන්හි ජගත් පාරිසරික සමුළුවක් පැවැත්වේ. කෝපන්හේගන් ජගත් පාරිසරික සමුළුවට පෙර සූදානමක් වශයෙන් සැප්තැම්බර් 22 දින නිව්යෝක්හිදී අන්තර් ජාතික රැස්වීමක් පැවැත්වීමට නියමිත ය.


කාබන් විමෝචනය හේතුවෙන් උෂ්ණත්වය ඉහළ යාම කාර්මික විප්ලවයට පෙර අවධියේ ලෝකයේ පැවති උෂ්ණත්වයේ මට්ටමට වඩා සෙල්සියස් අංශක 1.5ක උපරිමයකින් සීමා කළ යුතු බවට ලොව දුප්පත්ම රටවල් හා දූපත් ගිය මාසයේ එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියහ. ලෝකයේ දියුණුම රටවල් අට, චීනය හා ඉන්දියාව එක්ව ජුලි මාසයේ ඉතාලියේ පවත්වන ලද රැුස්වීමකදී තීරණය කළේ මෙම මට්ටම සෙල්සියස් අංශක දෙකක උපරිමයක මට්ටමක පවත්වා ගත යුතු බවයි. බොහෝ දේශගුණික විශේෂඥයන් පෙන්වා දෙන්නේ මිහිතලය උණුසුම් වීම මේ වන විටත් කාර්මික විප්ලවයට පෙර පැවති මට්ටමට වඩා සෙල්සියස් අංශක දෙක ඉක්මවා ඇති බවයි.


0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Favorites More